එ සමයෙහි දුමනබවෙක් අඳුරුබවෙක් පෙරදිගට යේ ම ය. පැසුළුදිගට යෙයි. උතුරු දිගට යෙයි. දකුණු දිගට යෙයි. උඩට යෙයි. යටට යෙයි. අනුදිගට යෙයි.
එ කල්හි භාග්යවතුන් වහන්න්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි පෙරදිගට යන පැළදිගට යන උතුරු දිගට යන දකුණු දිගට යන උඩට යන යටට යන අනුදිගට යන මේ දුමනබව අඳුරුබව දකිවු ද? වහන්ස, එසේ යැ.
මහණෙනි, තෙල පවිටු මරු ය. වක්කලි කුලපුතුගේ විඥානය කොහි පිහිටියේ දැ යි, වක්කලි කුලපුතුගේ විඥානය සොයයි.
මහණෙනි, වක්කලි කුලපුත් නො පිහිටි විඥානයෙන් පිරිනිවියේ යි වදාළසේක.
1. 2. 4. 6.
අස්සජි සූත්රය
88. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුඃඛිත වූවාහු දැඩි සේ ගිලන් වූවාහු කස්සපකාරාමයෙහි (කසුප් සිටු විසින් කරවන ලද අරම්හි) වැඩවෙසෙති.
එ කල්හි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ. “ඇවැත්නි, එවු, තෙපි භාග්යවතුන් වහන්සේ වෙත එළබෙවු: “වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුකට පැමිණියේ යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්යවතුන් වහන්සේගේ පාසඟළුවන් දොහොත් මුදුන් තබා වඳී යයි මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පාසඟුළුවන් දොහොත් මුදුන් තබා වඳිවු. මෙසේත් කියවු “වහන්ස, භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ”යි. ඇවැත්නි, එසේ යයි ඒ භික්ෂූහු ආයුෂ්මත් අස්සජි තෙරුන්ට පිළිතුරු දී භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුඃඛිත යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිස් මුදුනින් වඳියි. මෙසේත් කියයි: වහන්ස, භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ යි. භාග්යවතුන් වහන්සේ මුවින් නො බැණ ඉවසූ සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස්කල ඵලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් අස්සජි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ වැඩම කරන භාග්යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ දරන අයුරක් දැක්වූහ.
එ කල්හි භාග්යවතුන් වහන්සේ අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කම් නැත. තෙපි ඇඳෙන් නැගී සිටීමට උත්සාහ නො දරවු. පනවන ලද මේ අසුන් ඇත. මම් එහි හිඳින්නෙමි” යි. භාග්යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක, වැඩහිඳ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කිම. තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙත්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පැනෙයි ද? වැඩීම නො පැනේ දැ යි?
වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දුක් වේදනාවෝ වැඩෙති. නො පිරිහෙති. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, පිරිහීම නො පැනේ යි.
අස්සජිය කිම? තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? යි.
වහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්පය යි.
අස්සජි කිම, තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි?
වහන්ස, මට ශීලයෙන් උපවාද නො කෙරේ ය යි.
අස්සජිය, ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිමෙක් ද? විපිළිසර කිමෙක් දැ? යි.
වහන්ස, පෙර මම ගිලන්බැව්හි කායසංඛාරයන් (අස්සාස පස්සාස දෙක) සන්හිඳුවා වෙසෙමි. මම ඒ සමාධිය නො පිළිලබමි. වහන්ස, ඒ සමාධිය නොපිළි ලබන මට “මම නො ද පිරිහෙම් දැ?”යි මෙ බඳු සිතෙක් වෙයි.
අස්සජි, සමාධිය සාර කොට ඇති සමාධිය ශ්රමණ බව කොට ඇති යම් ඒ මහණ බමුණෝ වෙත් නම් ඒ සමාධිය නො පිළිලබන ඔවුන්ට “අපි පිරිහෙන්නමෝ නො වමු දැ”යි මෙ බඳු සිතෙක් වෙයි.
අස්සජි, ඒ කිමෙකැයි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්ය ය ...
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස අනිත්ය ය ...
අස්සජි, එහෙයින් මෙහි ලා ... මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනී.