1. 2. 3. 9.
පාරිලෙය්යක සූත්රය
81. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසනසේක. එසඳ භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පාසිවුරු ගෙන කොසඹෑ පුරයට පිඬු පිණිස පිවිසිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකිසේක් තමන් වහන්සේ ම සෙනසුන් සඟවා තබා පා සිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට (-නො විචාරා) එකලා වැ දෙවන මහණකු නැති වැ චාරිකාවට වැඩිසේක.
ඉක්බිති අන්යතර මහණෙක් බුදුන් වැඩි නොබෝ වේලෙහි ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ ය, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “ඇවැත් ආනන්දයෙනි, එව, භාග්යවතුන් වහන්සේ තුමූ ම සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උවටු මහණුන් නො අමතා බික්සඟුන් නො විචාරා එකලා වැ පසු මහණකු නැති වැ චාරිකාවට නික්ම වැඩිසේකැ” යි.
ඇවත, යම් කලෙක භාග්යවතුන් වහන්සේ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට පශ්චාත් ශ්රමණයකු නැති වැ ඒකාකී වැ චාරිකාවට බැස යන සේක් ද, එකල භාග්යවතුන් වහන්සේ එකලා වැ ම වසනු කැමැති සේක. එකල්හි යම් මැ කෙනෙකුන් විසින් භාග්යවතුන් වහන්සේ ලුහුබැඳියයුතු නො වෙති” යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරනසේක් පාරිලෙය්යකවනය කරා වැඩිසේක. භාග්යවතුන් වහන්සේ ඒ පාරිලෙය්යකවනයෙහි භද්ර වූ සල්රුකක්මුල වැඩ වසනසේක. එසඳ බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළ යුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහු: “ඇවැත්නි, අනඳ තෙරණුවනි, අප විසින් බුදුන් හමුයෙහි දැහැමිකථා ඇසූ බොහෝ කල් ඇත. ඇවැත්නි, අනඳ තෙරණුවනි, අපි බුදුන් හමුයෙහි දැහැමි කථාවක් අසන්නට කැමැතියම්හ” යි.
එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මහණුන් සමග පාරිලෙය්යක වනයෙහි වූ භද්රශාලමූලය වෙත භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්වැ හුන්හ. භාග්යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුන්හට දැහැමි කථායෙන් කරුණු දැක් වූ සේක, සමාදන් කරවූ සේක, තෙද ගැන්වූ සේක, පින වූ සේකි.
එකල එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන. “කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට මාර්ගඥානයට අනන්තර ව ආස්රවක්ෂය වේ දැ” යි.
එසඳ භාග්යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්කය සිය සිතින් දැන මහණුන් ඇමතූ සේක: “මහණෙනි, මා විසින් විචය නුවණින් දහම් දෙසන ලද: විචය නුවණින් සතර සීවටන්හු දෙසන ලදහ. විචයනුවණින් සතර සම්යක්ප්රධන්හු දෙසන ලදහ. විචය නුවණින් සතර ඍද්ධි පාදයෝ දෙසන ලදහ. විචයනුවණින් පඤ්චේන්ද්රියෝ දෙසන ලදහ, විචයනුවණින් පඤ්බලයෝ දෙසන ලදහ, විචයනුවණින් සප්ත බොධ්යංගයෝ දෙසන ලදහ. විචයනුවණින් අරීඅටඟිමඟ දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසත් ම, වැලිත් මෙහි ලා ඇතැම් මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන: කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට අර්හත් මාර්ගඥානයට අනන්තර ව (ආස්රවක්ෂය සංඛ්යාත) අර්හත්ඵලඥානය වේ දැ’ යි (කියා යි).