1. 2. 3. 10.
පුණ්ණමා සූත්‍රය
82. එක් සමයෙකැ, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්‍වාරාම නම් මුවරමාපහයෙහි මහත් භික්‍ෂු සංඝයා සමඟ වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එදින උපෝසථය වූ පසළොස්වක් දිනයෙහි (මාස ආදිය පිරුණු බැවින්) පූර්‍ණ වූ සඳ යුත් රැයෙහි “බික්සඟන විසින් පිරිවරන ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.
එකල්හි එක්තරා මහණෙක් හුනස්නෙන් නැගිට උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, ඉඳින් මට භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් පිළිවිසීමට අවකාශ දෙන සේක් නම් මම භාග්‍යවතුන් වහන්සේගෙන් කිසි දෙසක් (කරුණක්) විචාරන්නෙමි” යි. මහණ, එසේ වී නම් තෙපි සිය අසුන්හි හිඳ යමක් කැමැත්තහු විචාරව” යි.
ඒ මහණ “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සිය අසුන්හි හිඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මොහු පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ ඔහු කවරහ යත්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි, මහණ, මොහු ම පඤ්චෝපාදානස්කන්‍ධයෝ ය. ඔහු කවරහ යත්, රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ’ යි.
ඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ”යි. මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ තෘෂ්ණාඡන්‍දය මුල් කොට ඇතියහ යි. ඒ මහණ, “වහන්ස, මැනැවැ” යි
භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, ඒ පඤ්චෝපාදානස්කන්‍ධ කෙතෙක් ඇද්ද උපාදානය එම වේ ද? නැතහොත් උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ දැයි? මහණ එම උපාදාන ඒ පඤ්චෝපාදානස්කන්‍ධ නො වේ යි, උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ ද නො වෙයි. වැලිදු එහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.
ඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් කොට භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වන්නේ දැ යි? වන්නේය මහණ, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙහි ඇතැමකුට මෙසේ අදහසෙක් වෙයි: “මතුකල මෙබඳු රූ ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇතියෙකිම් වෙමි යි. මහණ, මෙසේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වේ යි.
“වහන්ස, මැනැවැ” යි ඒ මහණ මතුයෙහි පැනයක් විචාළේ ය. වහන්ස, ස්කන්‍ධයනට ස්කන්‍ධ ප්‍රඥප්තිය කෙතෙකින් වේ දැ යි? මහණ, අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේ වයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් ඇත් ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයකුත් ඇත්ද, මෙ රූපස්කන්‍ධ ය යි කියනු ලැබෙයි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මේ විඥානස්කන්‍ධ ය යි කියනු ලැබේ. මහණ ස්කන්‍ධයන්ට ස්කන්‍ධප්‍රඥාප්තිය මෙතෙකින් වේ යි.
“වහන්ස, මැනව” යි ඒ මහණ ... මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, රූපස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද? වේදනාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, සංඥාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, විඥානස්කන්‍ධ ප්‍රඥප්තියෙහි හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරෙ දැ යි? මහණ, රූපස්කන්‍ධයෙහි ප්‍රඥප්තියට සතර මහාභූතයෝ හේතුහ, සතර මහාභූතයෝ ප්‍රත්‍යයහ. වේදනා ස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය; ස්පර්‍ශඥාස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය ; සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය. විඥානස්කන්‍ධ ප්‍රඥප්තියට නාමරූප හේතු ය, නාමරූප ප්‍රත්‍යයයි.
ඒ මහණ “වහන්ස, මැනැව” යි ... මතු පැනයක් විචාළේ ය: වහන්ස, කෙසේ නම් සත්කායදෘෂ්ටි වේ දැ යි? මහණ, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන