1. 2. 3. 8.
පිණ්ඩෝල්‍ය සූත්‍රය
80. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කපිලවාස්තු පුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිසියම් කරුණෙකැ ලා භික්‍ෂු සංඝයා බැහැර කොට දෙවන දින පෙවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසි සේක. කිඹුල්වතෙහි පිඬු පිණිස හැසිර බතින් පසු වැ පිණ්ඩපාතයෙන් වැළකී සේක් මහාවනය කරා දිවා විහාරය පිණිස එළැඹි සේක. මහාවනයට එළඹ නහඹුල් බෙලිරුකක් මුලැ දිවාවිහාරය පිණිස වැඩහුන් සේක.
එසඳ රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “මා විසින් බික්සඟනු බැහැර කරන ලදහ. මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනික වැ පැමිණි භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මව නොදක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් වේ ද, පෙරැළියෙක් වේ ද එපරිදි ම මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනාගත වූ භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි, පෙරැළියෙක් වේ. දිය නො ලබන තරුණබීජයන්ට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් ඇත් ද, පෙරැළියෙක් ඇත් ද, එ පරිදි මෙහි නවක වූ අළුත පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු ඇත් ද, දර්‍ශනය පිණිස මා නො ලබන ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. විපරිණාමයෙක් වේ. යම් පරිදි මා විසින් පෙර බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එ පරිදි ම මම දැන් බික්සඟනට අනුග්‍රහ කෙරෙම් නම් මනා මැ නු” යි.
එසඳ සහම්පතී බ්‍රහ්ම සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන, යම් පරිදි බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ ද, දිගුකළ අත හෝ හකුළුවා ද එ පරිදි බඹ ලොවැ අතුරුදන් වූයේ බුදුන් ඉදිරියෙහි පහළ වී.
ඉක්බිති සහම්පතී බඹ උත්තරාසංගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භාග්‍යවතුන් වහන්ස, තෙල එසේම යැ. සුගතයන් වහන්ස, තෙල එසේ මැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු නෙරන ලදහ. මෙහි ළඟදී පැවිදි වූ මෙ සස්නට ළඟදී, පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මවු දෙන නො දක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වය හා විපර්‍ය්‍යාස හා ඇත් ද, එපරිදි ම මෙහි ළඟැදී පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු වෙති. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාභාවය වෙයි, විපර්‍ය්‍යාස වේ. දිය නො ලබන තරුණබීජවලට යම් පරිදි අන්‍යථාභාවය හා විපරිණාමය හා වේ ද, එපරිදි ම මෙහි පැවිදි නොබෝ කල් ඇති මේ සස්නට ළඟදී පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලබන ඔවුනට අන්‍යථාත්‍වය වෙයි. විපරිණාමය වේ.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟුන් පිළිගන්නා සේක් වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් පරිදි පෙරැ භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එපරිදි ම දැනුදු බික්සඟුන් සගන්නා සේක්වා” යි.
භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ සහම්පතී බඹ භාග්‍යවතුන් වහන්සේ අධිවාසනා දැන බුදුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් නිග්‍රෝධාරාමය කරා එළැඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ යම් පරිදි එ මහණහු තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු සැහැවි ඇත්හාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙත් නම් එබඳු ඉදුහයක් කළසේක.
එ මහණහු ද තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු වැ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුනට තෙල වදාළසේක: “මහණෙනි, ජීවිකාවන් අතුරින් මේ ජීවිකාව ලාමකය, එ කිමෙක යත්: පිඬුසිඟීම යැ. ‘පාත්‍රය ගත් ඇත් ඇති වැ පිඬු සිඟනු වැ හැසිරෙහි’ යන මේ ලෝකයෙහි ආක්‍රෝෂයෙකැ , මහණෙනි, කුලපුත්‍රයෝ හේතුවශඟ වූවාහු අර්‍ත්‍ථවශය නිසා මෙසේ ඒ පිඬු සිඟීමට පැමිණෙති. රාජනීතියෙන් අභිනීත වැ නො වෙත් මැ යැ, සොරුන් විසින් අභිනීත වැ නො වෙත් මැ යැ, ණයින් පෙළුනාහු නො වෙත් මැ යැ, භයින් පෙළුණාහු නො වෙත් මැ යැ, ජීවිකායෙන් පෙළුණාහු නො වෙත් මැ යි. වැළිත් ජාතියෙනුදු ජරාමරනයෙනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු බැසගතුම්හ. මෙසේ දුකට බටුම්හ. දුකින් පීඩිතයම්හ, (එයින්) මේ කේවල දුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මනා මැ නු” යි කියා යි.
මහණෙනි, මෙසේ පැවිදි වූ මේ කුලපුත්‍රයෙක් වේ ද, හේ ද අභිධ්‍යා බහුල වෙයි, කාමයෙහි තීව්‍රසංරාග ඇති වෙයි, විපන්සිත් ඇති වෙයි, දූෂිත සිත් ඇති වෙයි, මුෂිත ස්මෘති ඇති වෙයි, නිෂ්ප්‍රාඥ වෙයි, එකඟ නො වූ සිත් ඇති වෙයි, භ්‍රාන්ත සිත් ඇති වෙයි ප්‍රකෘති ඉඳුරන් ඇති වේ. මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළැගත්, මැද වැකි අශුචි ඇති සොහොන් පෙණ හෙල්ලෙක් ගමෙහි දර පිණිස වේවයි නොයෙ දේ ද වෙනෙහි කාෂ්ට පිණිස නො යෙදේ ද, මහණෙනි, මම මේ පුඟුලා එවන් උපමා ඇතියෙකැ යි කියමි. ගිහි භෝගයෙනුදු පිරිහීණැ, ශ්‍රමණාර්‍ත්‍ථය ද නො පුරයි.
මහණෙනි,මේ අකුශල විතර්‍කයෝ තුන් දෙනෙකි: කාමවිතර්‍කය යැ, ව්‍යාපාද විතර්‍ක යැ, විහිංසා විතර්‍ක යි. මහණෙනි, ඒ අකුශල විතර්‍කයෝ තුන්දෙන නිරවශේෂ වැ කොහි ලා නිරුද්ධ වෙත් ද යත්: සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති වැ වසනුවහට හෝ විදර්‍ශනා සමාධිය වඩනුවහට හෝ යැ.
මහණෙනි, භාවනාවශයෙන් වඩන්නට විදර්‍ශනා සමාධිය නිසි මැ යැ. මහණෙනි, වඩනාලද විදර්‍ශනා සමාධිය බහුලීකෘත වූයේ මහත්ඵල වෙයි, මහානිශංස වේ.
මහණෙනි, මේ දෘෂ්ටීහු දෙදෙනෙකි: භවදෘෂ්ටිය විභවදෘෂ්ටිය ද කියායි. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් එබඳු යම්කිසිවක් ඇද්ද හෝ” යි. හේ මෙසේ නුවණින් දනියි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් ඒ කිසිදු ලොවැ නැති නු” යි. මම වැළිත් උපාදාන වශයෙන් ගන්නෙම් රූපය ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම්