1. 2. 3. 7.
ඛජ්ජනීය සූත්රය
79. සැවැත්නුවර:
මහණෙනි, අනේකප්රකාර පූර්වනිවාසය නුවණින් මෙනෙහි කරන යම් මැ ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙත් ද, එ හැම පඤ්චෝපාදාන ස්කන්ධයන් අනුස්මරණ කෙරෙති, තුලුන් අතුරෙන් අන්යතරයක් හෝ අනුස්මරණ කෙරෙත්.
මහණෙනි, “අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි” යි හෝ සිහි කරන්නේ රූපස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි” යි හෝ සිහිකරන්නේ වේදනාස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංඥාස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංස්කාරයන් මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ විඥානස්කන්ධය මැ සිහි කෙරෙයි.
මහණෙනි, කවර කරුණින් රූපය කියන්නේ ය යත්: මහණෙනි, “බිඳේ” නුයි එයින් රුපයයි කියනු ලැබෙයි, කුමකින් බිඳේ ය යත්: ශීතයෙනුදු බිඳෙයි, උෂ්ණයෙනුදු බිඳෙයි, බඩසයියිනුදු බිඳෙයි, පවසිනුදු බිඳෙයි, ඩැහැ ලේ බොන මැසි ය - විද ලේ බොන මදුරු ය - වාත ය - ආතප ය - දීර්ඝජාති ය යන මොවුන්ගේ සංස්පර්ශ යෙනුදු බිඳේ. මහණෙනි, “බිඳෙනු” යි එයින් රූප යි කියනු ලැබේ.
මහණෙනි, කවර කරුණින් වේදනා කියන්නේය යත්: මහණෙනි, “වළඳ කෙරේ” නු යි එයින් වේදනා යි කියනු ලැබෙයි. කුමක් වළඳ කෙරෙයි යත්: සුඛය ද වළඳ කෙරෙයි. දුක්ඛය ද වළඳ කෙරෙයි, උපේක්ෂාව ද වළඳ කෙරේ. මහණෙනි, මෙසේ වළඳ කෙරේ නු යි එයින් වේදනා යි කියනු ලැබේ.
මහණෙනි, කවර කරුණින් සංඥා කියන්නේ ය යත්: මහණෙනි, “හඳුනාගනී” නුයි එයින් සංඥායි කියනු ලැබෙයි. කවර කරුණින් හඳුනයි යත්: නිල ද හඳුනයි, කහවන ද හඳුනයි, ලෙහෙවන ද හඳුනයි, සුද ද හඳුනයි. මෙසේ “හඳුනා” නුයි එයින් සංඥා යි කියනු ලැබේ.
මහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ ය යත්: මහණෙනි, “සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙත්” නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්: රූපය රූපය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්. “මහණෙනි, සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්” නුයි එයින් සංස්කාරහ යි කියනු ලැබෙත්.
මහණෙනි, කවර කරුණින් විඥානය කියන්නේය යත්: මහණෙනි, “විජානන කෙරේ” නුයි එයින් විඥාන යයි කියනු ලැබෙයි. කවර කරුණින් විජානන කෙරේ යත්: ඇඹුල ද විජානන කෙරෙයි, තිත්ත ද විජානන කෙරෙයි. කටුකරස ද විජානන කෙරෙයි, මධුරරස ද විජානන කෙරෙයි, කරරස ද විජානන කෙරෙයි. නොකරරස ද විජානන කෙරෙයි. ලුණුරස ද විජානන කෙරෙයි. නොලුණුරස ද විජානන කෙරේ. මහණෙනි, මෙසේ “විජානන කෙරේ” නුයි එයින් විඥාන යි කියනු ලැබේ.
මහණෙනි, එහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක මෙසේ නුවණින් සලකා බලයි: “මම වූකලී දැන් රූපය විසින් කනු ලබමි. යම්සේ දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබම් ද, එසෙයින් ම ඉකුත් කල්හි දු රූපය විසින් කනු ලැබීමි. මම අනාගතරූපය පතම් නම් යම් පරිදි දැන් ප්රත්යුත්පන්න රූපය විසින් කනු ලබම් ද, එපරිදි මම අනාගතකාලයෙහිදු රූපය විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්රත්යවේක්ෂා කොට අතීතරූපයෙහි නිරපේක්ෂ වෙයි, අනාගතරූපය නො පතයි, ප්රත්යුත්පන්න රූපය පිළිබඳ වැ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
“මම වර්තමානයෙහි වේදනාව විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්රත්යුත්පන්න වේදනාව විසින් කනු ලබම් ද, අතීත කාලයෙහි දු එපරිදි ම වේදනාව විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතවේදනාව පතම් නම් යම් පරිදි දැන් ප්රත්යුත්පන්න වේදනාව විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගතකාලයෙහි දු වේදනාව විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්රත්යවේක්ෂා කොට අතීතවේදනාව පිළිබඳ වැ නිරපේක්ෂ වෙයි, අනාගතවේදනාව නො පතයි, ප්රත්යුත්පන්නවේදනාව පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.