1. 2. 1. 9.
ආදිත්ත සූත්‍රය
61. සැවැත්නුවර:
මහණෙනි, රූපය ආදීප්ත යැ (හාත්පසින් ඇවිළගත්තේ වෙයි), වේදනාව ආදීප්ත යැ, සංඥාව ආදීප්ත යැ, සංස්කාර ආදීප්ත යැ, විඥානය ආදීප්ත යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයන්හි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ බව් සඳහා අන් කිසෙක් නැතැයි” දැනගනී යි.
1. 2. 1. 10.
නිරුක්තිපථ සූත්‍රය
62. සැවැත්නුවර:
යම් නිරුක්තිපථ කෙනෙක් බැහැර නො කරන ලද ද, බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු බැහැර නො කරනු ලැබෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද ද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්‍රඥප්තිපථ තිදෙනෙක් වෙත්.
කවර තිදෙනෙකැ යත්:
මහණෙනි, යම් රූපයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව යි, ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ නම යි. ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව නො වෙයි, ‘වන්නේය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව (ගිණීම) නො වේ.
යම් වේදනාවක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව (ගිණීම) වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ නම වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ ප්‍රඥප්තිය වෙයි. ‘ඇත’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි.
යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූහු’ යනු ඔවුනට සංඛ්‍යා යි. ‘වූහු’ යනු ඔවුනට නම යි ‘වූහු’ යනු ඔවුනට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඔවුනට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නාහ’ යනු ඔවුනට සංඛ්‍යා නො වෙයි.
යම් විඥානයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වූයේය’ යනු එයට නම යි, ‘වූයේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි.
මහණෙනි, යම් රූපයක් අජාත ද අපාතුභූත (පහළ නො වී) ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වන්නේය’ යනු එයට නම යි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් අජාත ද අපාතුභූත ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා වෙයි, ‘වන්නේය’ යනු එයට නම් වෙයි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති වෙයි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වේ යයි.