1. 2. 1. 10.
නිරුක්තිපථ සූත්රය
62. සැවැත්නුවර:
යම් නිරුක්තිපථ කෙනෙක් බැහැර නො කරන ලද ද, බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු බැහැර නො කරනු ලැබෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද ද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්රඥප්තිපථ තිදෙනෙක් වෙත්.
කවර තිදෙනෙකැ යත්:
මහණෙනි, යම් රූපයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ සංඛ්යාව යි, ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ නම යි. ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ ප්රඥප්ති යි. ‘ඇත’ යනු ඒ රූපයාගේ සංඛ්යාව නො වෙයි, ‘වන්නේය’ යනු ඒ රූපයාගේ සංඛ්යාව (ගිණීම) නො වේ.
යම් වේදනාවක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ වේදනාවගේ සංඛ්යාව (ගිණීම) වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ නම වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ ප්රඥප්තිය වෙයි. ‘ඇත’ යනු ඒ වේදනාවගේ සංඛ්යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු ඒ වේදනාවගේ සංඛ්යාව නො වෙයි.
යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූහු’ යනු ඔවුනට සංඛ්යා යි. ‘වූහු’ යනු ඔවුනට නම යි ‘වූහු’ යනු ඔවුනට ප්රඥප්ති යි. ‘ඇත’ යනු ඔවුනට සංඛ්යාව නො වෙයි, ‘මතු වන්නාහ’ යනු ඔවුනට සංඛ්යා නො වෙයි.
යම් විඥානයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූයේය’ යනු එයට සංඛ්යා යි, ‘වූයේය’ යනු එයට නම යි, ‘වූයේය’ යනු එයට ප්රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු එයට සංඛ්යා නො වෙයි.
මහණෙනි, යම් රූපයක් අජාත ද අපාතුභූත (පහළ නො වී) ද, ‘වන්නේය’ යනු එයට සංඛ්යා යි, ‘වන්නේය’ යනු එයට නම යි, ‘වන්නේය’ යනු එයට ප්රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් අජාත ද අපාතුභූත ද, ‘වන්නේය’ යනු එයට සංඛ්යා වෙයි, ‘වන්නේය’ යනු එයට නම් වෙයි, ‘වන්නේය’ යනු එයට ප්රඥප්ති වෙයි. ‘ඇත’ යනු එයට සංඛ්යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්යා නො වේ යයි.
මහණෙනි, යම් රූපයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්යා යි, ‘ඇත’ යනු එයට නම යි, ‘ඇත’ යනු එයට ප්රඥප්ති යි. ‘වූයේය’ යනු එයට සංඛ්යා නො වෙයි, ‘වන්නේය’ යනු එයට සංඛ්යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්යා වෙයි, ‘ඇත’ යනු එයට නම් වෙයි, ‘ඇත’ යනු එයට ප්රඥප්ති වේ යයි.
මහණෙනි, යම් නිරුක්ති මාර්ග කෙනෙක් බැහැර නො කරන ලද ද , බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු නො ද බැහැර කෙරෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්රඥප්තිපථ තිදෙන වෙතැයි.
මහණෙනි, උක්කල දනවු වැසි අහේතුකවාදී අක්රියවාදී නාස්තිකවාදී වස්ස භඤ්ඤ නම් යම් දෘෂ්ටිගතිකයෝ වූවාහු ද, උහු දු මේ නිරුක්ති මාර්ග අධිවචන මාර්ග ප්රඥප්ති මාර්ගයෝ තිදෙන ගැරහියයුතු කොට, පිළිකෙව් කොට නො සිතූහ. එ කවර හෙයින් යත්: නින්දා - ඝට්ටන - දෝෂා රෝපණ - අපවාද බියෙන් යැ යි.
පළමුවැනි උපයවර්ග යි.
එහි උද්දානය:
උපය සූත්රය, බීජ සූත්රය, උදාන සූත්රය, උපාදාන පරිවට්ට සූත්රය, සත්තට්ඨාන සූත්රය, බුද්ධ සූත්රය, පඤ්ච වග්ගිය සූත්රය, මහාලි සූත්රය, ආදිත්ත සූත්රය, නිරුක්තිපථ සූත්රය සමඟ උපය වර්ගයෙහි සූත්ර දශයෙකි.