1. 2. 1. 8.
මහාලි සූත්‍රය
60. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි වූ කූටාගාර ශාලායෙහි වැඩ වාසය කෙරෙති. එ කල්හි මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හුන්නේ යැ, එකත්පස්ව හුන් මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය:
වහන්ස, පූරණකාශ්‍යප මෙසේ කියයි: “සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. සත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත්” යි. මේ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් ද?
මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු ඇත, ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට හේතු ඇත. ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත් යි.
වහන්ස, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු කවරැ, ප්‍රත්‍යය කවර යැ, කිසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත් දැ යි.
මහාලි, රූපය ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් රූපය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි ඇලෙති, ඇලීමෙන් (සංයෝජන වශයෙන්) බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීම පිණිස මෙ ද හේතුයෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
මහාලි, වේදනාව ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්‍වයෝ වේදනායෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් වේදනාව සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ වේදනායෙහි ඇලෙති, ඇලීම් හේතුයෙන් බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
සංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත දුක් වූවාහු දුකෙහි පතිත වූවාහු දුකෙහි වැදගත්තාහු සුවයෙහි නො වැදගත්තාහු වූවාහු නම් සත්‍වයෝ සංස්කාරයන්හි නෑලෙන්නාහුය. යම්හෙයකින් මහාලි, සංස්කාර සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුක්ඛයෙන් අවක්‍රාන්ත නො වෙත් ද, එහෙයින් සත්‍වයෝ සංස්කාරයන්හි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට මෙ ද හේතුවෙකි, මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ කෙලෙසෙත්.
මහාලි, විඥානය ද ඒකාන්ත දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි අවතීර්‍ණ වූවක් සුවයෙහි අවතීර්‍ණ නො වූවක් වී නම් සත්‍වයෝ විඥානයෙහි නො ඇලෙන්නාහුය. යම් හෙයකින්, මහාලි, විඥානය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයයෙහි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, මෙ ද සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත්.
වහන්ස, සත්‍වයන්ගේ විශුද්ධිය පිණිස හේතු කවරැ ප්‍රත්‍යය කවර යැ කිසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධ වෙත් දැයි.
මහාලි, රූපය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ රූපයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින් මහාලි, රූපය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලි, සත්‍වයන්ගේ, විශුද්ධිය පිණිස මෙ ද හේතු යි, මෙ ප්‍රත්‍යය යි. මෙසේ සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධියට යෙත්.
මහාලි, වේදනාව ද ඒකාන්ත සුඛ වී නම් ... මහාලි, සංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත සුඛ වූවාහු නම් ... මහාලි, විඥානය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ විඥානයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින්, මහාලි, විඥානය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් විශුද්ධ වෙත්. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ විශුද්ධ වෙති යි.
1. 2. 1. 9.
ආදිත්ත සූත්‍රය
61. සැවැත්නුවර:
මහණෙනි, රූපය ආදීප්ත යැ (හාත්පසින් ඇවිළගත්තේ වෙයි), වේදනාව ආදීප්ත යැ, සංඥාව ආදීප්ත යැ, සංස්කාර ආදීප්ත යැ, විඥානය ආදීප්ත යි.