1. 2. 1. 7.
පඤ්චවග්ගිය සූත්‍රය
59. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වාසය කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි පඤ්චවග්ගිය භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, රූපය අනාත්ම යැ, මහණෙනි, මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස වැටෙයි. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද නො වෙයි.
මහණෙනි, වේදනාව අනාත්ම යැ, ... සංඥාව අනාත්ම යැ, ... සංස්කාර අනාත්ම යැ, ... විඥානය අනාත්ම යැ, මහණෙනි, මේ විඥානය ආත්ම වූයේ නම් මේ විඥානය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් විඥානය අනාත්මද, එහෙයින් විඥානය ආබාධ පිණිස වැටෙයි. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා , මාගේ විඥානය මෙසේ නො වේව” යි නො ද ලැබෙන්නේ වෙයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ” යි. වහන්ස අනිත්‍ය යැ.
යමක් වූකලි අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් වනාහි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ යි. වහන්ස අනිත්‍ය යැ.
යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සුව හෝ යි. වහන්ස, දුක් යැ.
යමක් වූකලි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි එය දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් මෙහි ලා අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් රූපයකුත් ඇත් ද, එ සියලු රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් (විදර්‍ශනාඥානයෙන්) දැක්ක යුතු යි.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්මය වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සුඛුම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයකුත් ඇත් ද, එ සියලු විඥානය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු.