1. 2. 1. 4.
උපාදාන පරිවත්ත සූත්‍රය
56. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥෝපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, යම්තාක් මම මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒ තාක් මම අභිසම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ
සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා නො කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක පටන් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම සම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා කෙළෙමි.
චතුෂ්පරිවර්‍තය කෙසේ යැ:
රූපය අවබෝධ කෙළෙමි, රූපසමුදය අවබෝධ කෙළෙමි, රූපනිරෝධය අවබෝධ කෙළෙමි, රූපනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි. වේදනාව අවබෝධ කෙළෙමි ... සංඥාව අවබෝධ කෙළෙමි ... සංස්කාර අවබෝධ කෙළෙමි ... විඥානය අවබෝධ කෙළෙමි, විඥානසමුදය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි.
මහණෙනි, රූපය කවරෙ යැ:
සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද, මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූප නිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම රූපනිරෝධගාමිනීපටිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්සඞ්කල්ප, සම්‍යග්වචන ය, සම්‍යග්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යග්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් වෙත් වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ සුපිළිපන්හ, යම් කෙනෙක් සුපිළිපන් වෙත් ද, උහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, රූපසමුදය දැන, රූපනිරෝධය දැන, රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදානය නො කොට (තණ්හාදී වශයෙන් අලවා නො ගෙන) මිදුණාහු වෙත් ද, ඔහු සුවිමුත්තයහ. යම් කෙනෙක් සුවිමුත්ත ද, ඔහු කේවලීහ (කළ සියලුකිස ඇතියහ). යම් කෙනෙක් කේවලී ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් (කරුණක්) නැත.
මහණෙනි, වේදනාව කවර යැ:
මහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්‍ෂුෂ්ස්පර්ශයෙන් උපන් වේදනා යැ, ශ්‍රෝතස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ඝ්‍රාණස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ජිහ්වාස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, කායස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, මනස්ස්පර්‍ශයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශ සමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම වේදනානිරෝධගාමිනී ප්‍රතිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්මාධි යි.