1. 2. 1. 5.
සත්තට්ඨාන සූත්‍රය
57. සැවැත්නුවර:
මහණෙනි, සත් තැනෙක දක්‍ෂ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති මහණ මෙ ධර්‍මවිනයෙහි කළ සැම කිස ඇති, වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
මහණෙනි, මහණ කිසෙයින් සත්තට්ඨාන කුසල වේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය දනියි, රූප සමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනියි, රූපයාගේ ආස්වාදය දනියි, රූපයාගේ ආදීනව දනියි, රූපයාගේ නිශ්ශරණය දනී.
වේදනාව දනියි, වේදනා සමුදය දනියි, වේදනා නිරෝධය දනියි, වේදනානිරෝධගාමිනීපටිපදාව දනියි, වේදනායෙහි ආස්වාදය දනියි, වේදනායෙහි ආදීනව දනියි, වේදනායෙහි නිශ්ශරණය දනී.
සංඥාව දනියි ... සංස්කාර දනියි, සංස්කාරසමුදය දනියි, සංස්කාරනිරෝධය දනියි, සංස්කාරනිරෝධගාමිනීපටිපදාව දනියි, සංස්කාරයන්ගේ ආස්වාදය දනියි, සංස්කාරයන්ගේ ආදීනව දනියි, සංස්කාරයන්ගේ නිශ්ශරණය දනී.
විඥානය දනියි, විඥානසමුදය දනියි, විඥානනිරෝධය දනියි, විඥානනිරෝධගාමිනීපටිපදාව දනියි, විඥානයාගේ ආස්වාදය දනියි, විඥානයාගේ ආදීනව දනියි, විඥානයාගේ නිශ්ශරණය දනී.
මහණෙනි, රූපය කවරෙ යැ:
සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූපනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම රූපනිරෝධගාමිනීප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද මෙ රූපයාගේ ආදීනව යි. රූප විෂයෙහි යම් ඡන්‍ද රාගවිනයයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මෙ රූපයාගේ නිශ්ශරණ යි.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයාගේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණාහු ද, ඔහු මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පනවනු සඳහා වර්‍තයෙක් නැත.
මහණෙනි, වේදනා කවර යැ:
මහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කායසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශසමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම වේදනානිරෝධගාමිනී පටිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. වේදනාව නිසා යම් සුඛයෙක් සොම්නසෙක් උපදනේ ද, මෙ වේදනාව පිළිබඳ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ඇත් ද, මෙ වේදනාව පිළිබඳ ආදීනව යි. වේදනා පිළිබඳ යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ වේදනාව පිළිබඳ නිශ්ශරණ යි.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනායෙහි ආස්වාදය දැන, මෙසේ වේදනායෙහි ආදීනව දැන, මෙසේ වේදනායෙහි නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්න වෙති. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනාව පිළිබඳ ආස්වාදය දැන, මෙසේ වේදනාව පිළිබඳ ආදීනව දැන, මෙසේ වේදනාව පිළිබඳ නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදයෙන්, විරාගයෙන්, නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට විමුක්ත වෙත් ද, ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.