1. 2. 1. 3.
උදාන සූත්‍රය
55. සැවැත්නුවර:
එසඳ භාග්‍යවතුන්වහන්සේ (මෙ) ප්‍රීතිවාක්‍යය පහළ කළසේක: “ඉදින් මම නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ යි. මෙසේ නිශ්චයට පැමිණෙන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳියි.”
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, කෙසේ නම් ‘ඉදින් මම් නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍ම සංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ’යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
මහණ, බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නා, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, ... බුද්ධාදි සත්පුරුෂයින් නො දක්නා, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි. ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව ආත්ම විසින් දකියි. ආත්මය වේදනාවත් කොට හෝ ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකියි. සංඥාව ... සංස්කාර ආත්ම විසින් දකියි. ආත්මය සංස්කාර වත් කොට හෝ ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. විඥානය ආත්ම විසින් දකියි. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකියි.
හේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’ යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි ඇති සැටි නො දනියි.
දුක් වූ රූපය ‘රූපය දුකැ’යි යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ වේදනාව ‘වේදනාව දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ‘සංස්කාර දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි තත් වූ පරිදි නො දනියි.
අනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’යි යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ වේදනාව ‘වේදනාව අනාත්ම’යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ‘සංස්කාර අනාත්ම’යි යථාභූත කොට නො දනියි.
සංඛත වූ ප්‍රත්‍යයෝත්පන්න රූපය ‘රූපය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ වේදනාව ‘වේදනාව සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ‘සංස්කාර සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි.
රූපය බිඳේ යයි ඇති සැටි නො දනියි, වේදනාව ... සංඥාව ... සංස්කාර බිඳේ යයි ඇති සැටි නො දනියි, විඥානය බිඳේ යයි ඇති සැටි නො දනී.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ (බුද්ධාදි) ආර්‍ය්‍යන් දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට විනීත වූයේ, (බුද්ධාදි) සත්පුරුෂයින් දක්නේ සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි මොනොවට විනීත වූයේ රූපය ආත්ම විසින් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. වේදනාව ආත්ම විසින් නො දකියි, ආත්මය වේදනාවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ නො දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. සංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි, ආත්මය සංස්කාරවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාරය ඇතැයි හෝ නො දකියි, සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. විඥානය ආත්ම විසින් නො දකියි, ආත්මය විඥානවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ නො දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි.
හේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’යි තත් වූ පරිදි දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ... අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍යහ’යි ... අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි තත්වූ පරිදි දනී.
දුක් වූ රූපය ‘රූපය දුකැ’යි ඇති සැටි දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි ඇති සැටි දනියි.
අනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’ යයි ඇතිසැටි දනියි, අනාත්ම වූ වේදනාව ... අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ... අනාත්ම වූ විඥානය ‘විඥානය අනාත්ම’ යයි ඇති සැටි දනියි.
සංඛත වූ රූපය ‘රූපය සංඛත’ යයි යථාභූත කොට දනියි, සංඛත වූ වේදනාව ... සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ... සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි යථාභූත කොට දනියි.
රූපය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනියි, වේදනාව බිඳේ යයි ... සංඥාව බිඳේ යයි ... සංස්කාර බිඳේ යයි ... විඥානය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනී.
මහණ, මෙසේ හේ රූපයාගේ විභවදර්‍ශනයෙන්, වේදනාවගේ විභවදර්‍ශනයෙන්, සංඥාවගේ විභවදර්‍ශනයෙන්, සංස්කාරයන්ගේ විභවදර්‍ශනයෙන්, විඥානයාගේ විභවදර්‍ශනයෙන් “ඉදින් මම නො වූයෙම් නම්, අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මට මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ. (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක්) නො වන්නේ”යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
වහන්ස, මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳින්නේ මැයි.