1. 1. 5. 7.
පළමුවැනි සෝණ සූත්රය
49. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි සෝණ නම් ගෘහපති පුත්ර භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එ තන්හි එළැඹියේ යැ. එළැඹැ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගැහැවි පුත්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
සෝණය, යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්ය රූපයෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද යථාභූතාර්ත්ථයාගේ අදර්ශනය මිස අන් කිමෙක? දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්ය වේදනායෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්ත්ථයාගේ අදර්ශනය මිස එ අන් කිම? දුක් වූ විපරිණාම ස්වභාව ඇති අනිත්ය සංඥායෙන් … දුක් වූ පෙරැළෙන ගති ඇති අනිත්ය සංස්කාරයෙන් … දුක් වූ පෙරැළෙන දහම් ඇති අනිත්ය විඥානයෙන් “මම විශිෂ්ටයෙමි” යි හෝ දකිත් ද, “මම සමාන යෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්ත්ථයාගේ අදර්ශනය හැර අන් කිමෙක?
සෝණය යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ දුඃඛ වූ විපරිණාම ධර්ම වූ අනිත්ය රූපය හේතු කොට “මම විශිෂ්ට යෙමි” හෝ නො දකිත් ද, “මම තුල්යයෙමි” හෝ නො දකිත් ද, “මම හීනයෙමි” යි හෝ නො දකිත් ද, යථාභූතදර්ශනය හැර අන් කිමෙක? දුඃඛ වූ විපරිණාම ධර්ම වූ අනිත්ය වූ වේදනාව නිසා … අනිත්ය වූ සංඥාව නිසා … අනිත්ය වූ සංස්කාර නිසා … දුඃඛ වූ විපරිණාම ධර්ම වූ අනිත්ය විඥානය හේතු කොට “මම උත්තමයෙමි” යි කියාත් නො දකිත් ද, “මම සදෘශයෙමි” යි කියාත් නො දකිත් ද, “මම හීනයෙමි” යි කියාත් නො දකිත් ද, යථාභූතාර්ත්ථයාගේ දර්ශනය හැර අන් කිම?
සෝණය, ඒ කිසේ හඟියි: රූපය නිත්ය හෝ අනිත්ය හෝ වේ දැයි?
වහන්ස, අනිත්ය යැ.
යමෙක් අනිත්ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්ය වේ නම් දුක් වේ නම් පෙරැළෙන සැහැවි වේ නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය” යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නිසි නො වෙයි.
වේදනා නිත්ය හෝ අනිත්ය හෝ වේ දැයි?
වහන්ස, අනිත්ය යැ.
යමෙක් අනිත්ය වේ නම් එය දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් වනාහි අනිත්ය දුඃඛ විපරිණාම ධර්ම වේ නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යයි නුවණින් දක්නට යෝග්ය වේ ද?
වහන්ස, තෙල යෝග්ය නො වේ මැ යැ.
සංඥා … සංස්කාරයෝ … විඥානය නිත්ය හෝ අනිත්ය හෝ වේ දැයි?
වහන්ස, අනිත්ය යැ.
යමෙක් අනිත්ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්ය දුඃඛ විපරිණාමධර්ම වේ නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”ය යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නිසි නො වේ මැ යැ.
සෝණය, ඒ හේතුවෙන් ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඕළාරික වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ අතීතානාගත ප්රත්යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, දුරෙහි වූ හෝ හමියෙහි වූ හෝ යම් රූපයෙක් ඇත් ද ඒ හැම රූපය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මා අයත් ආත්මයක් නො වේය” යි මෙසේ මේ කරුණ ඇති සැටිය සම්යක්ප්රඥායෙන් දැක්ක යුතු.
යම් කිසි වේදනාවක් … යම්කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර කෙනෙක් … ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්ෂම වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ අතීතානාගත ප්රත්යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, දුරෙහි වූ හෝ සමීපයෙහි වූ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ හැම විඥානය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ මෙ කරුණ ඇතිසැටිය සම්යක් ප්රඥායෙන් දැක්කයුතු.
සෝණය, මෙසේ දක්නේ ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයෙහිදු නිර්වේද කෙරෙයි, වෙදනායෙහිදු නිර්වේද කෙරෙයි, සංඥායෙහි දු නිර්වේද කෙරෙයි, සංස්කාරයෙහිදු නිර්වේද කෙරෙයි, විඥානයෙහිදු නිර්වේද කෙරෙ යි. නිර්වේද කරනුයේ විරක්ත වෙයි, විරාග හේතුයෙන් මිදෙයි, මිදුණු කල “විමුක්ත” යයි ඥානය පහළ වෙයි, ජාති ක්ෂීණ වූ, බඹසර වැස නිමවිණැ, කරණී කරන ලද. මේ අනුපාදාපරිනිර්වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැති” යි නුවණින් දනීයයි වදාළහ.