1. 1. 5. 8.
දෙවැනි සෝණ සූත්රය
50. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි සෝණ ගෘහපතිපුත්ර භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතන්හි එළැඹියේ යැ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගෘහපති පුත්රහට භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
සෝණය යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපය නො දනිත් ද, රූප සමුදය නො දනිත් ද, රූපනිරෝධය නො දනිත් ද, රූපනිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නො දනිත් ද, විඥානසමුදය නො දනිත් ද විඥාන නිරෝධය නො දනිත් ද, විඥාන නිරෝධගාමිනී ප්රතිපදාව නො දනිත් ද, සෝණය, තෙල ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මත නො වෙති, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මත නො වෙත්, ඒ ආයුෂ්මත්හු ශ්රාමණ්යාර්ත්ථය වේ ව යි බ්රාහ්මණ්යාර්ත්ථය වේවයි දුටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට එළැඹැ නො ද විහරණ කෙරෙත්.
සෝණය, යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ රූපය දනිත් ද, රූප සමුදය දනිත් ද, රූපනිරෝධය දනිත් ද, රූපනිරෝධගාමිනීපටිපදාව දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දනිත් ද, විඥාන සමුදය දනිත් ද, විඥාන නිරෝධය දනිත් ද, විඥානනිරෝධගාමිනී ප්රතිපදාව දනිත් ද, සෝණය, තෙල ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මත ද වෙති. බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මත ද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රාමණ්යාර්ත්ථය ද බ්රාහ්මණ්යාර්ත්ථය ද දිටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට එළැඹ විහරණ කෙරෙත් යි වදාළහ.
1. 1. 5. 9.
පළවැනි නන්දික්ඛය සූත්රය
51. සැවැත්නුවර–
මහණෙනි, මහණ අනිත්ය වූ ම රූපය අනිත්ය යි දකියි, එය ඔහුගේ සම්යග්දෘෂ්ටිය වෙයි, සම්යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. නන්දි සංඛ්යාත තෘෂ්ණාක්ෂය හේතුයෙන් රාගක්ෂය වෙයි, රාගක්ෂය හේතුයෙන් තෘෂ්ණාක්ෂය වෙයි, නන්දිරාගක්ෂය හේතුයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබෙයි.
මහණෙනි, මහණ අනිත්ය වූ ම වේදනාව අනිත්ය යි දකියි … මහණෙනි, මහණ අනිත්ය වූ ම සංඥාව අනිත්ය’යි දකියි … මහණෙනි, මහණ අනිත්ය වූ ම සංස්කාර ‘අනිත්ය’ යි දකියි … මහණෙනි, මහණ අනිත්ය වූ ම විඥානය ‘අනිත්ය’ යි දකියි, එය ඔහුගේ සම්යග් දෘෂ්ටිය වෙයි, සම්යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. තෘෂ්ණාක්ෂයයෙන් රාගක්ෂය වෙයි, රාගක්ෂයයෙන් තෘෂ්ණාක්ෂය වෙයි. නන්දිරාගක්ෂයයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබේ යයි.
1. 1. 5. 10.
දෙවැනි නන්දික්ඛය සූත්රය
52. සැවැත්නුවර–
මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව, රූපයාගේ අනිත්යතාව ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ, රූපය නුවණින් මෙනෙහි කරනුයේ රූපයාගේ අනිත්යතාව ද ඇතිසැටි දක්නේ රූපයෙහි කලකිරෙයි, නන්දිසංඛ්යාත තෘෂ්ණාක්ෂයයෙන් රාගක්ෂය වෙයි, රාගක්ෂයයෙන් තෘෂ්ණාක්ෂය වෙයි, නන්දි රාගක්ෂයයෙන් සිත (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබෙයි.
මහණෙනි, වේදනාව ... මහණෙනි, සංඥාව … මහණෙනි, සංස්කාර … මහණෙනි, විඥානය නුවණින් මෙනෙහි කරව, විඥානයාගේ අනිත්යතා ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ විඥානය නුවණින් මෙනෙහි කරන්නේ විඥානයාගේ අනිත්යතා ද යථාභූත කොට දක්නේ විඥානයෙහි කලකිරෙයි, නන්දිසංඛ්යාත තෘෂ්ණාක්ෂය හේතුයෙන් රාගක්ෂය වෙයි, රාගක්ෂය හේතුයෙන් තෘෂ්ණාක්ෂය වෙයි, නන්දිරාගක්ෂය හේතුයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබේ යයි වදාළසේක.
පස්වෙනි අත්තදීපවර්ග යි.
එහි උද්දානය:
අත්තදීප සූත්ර ය, අනිච්චතා සූත්ර දෙක ය, සමානුපස්සනා සූත්ර ය, ඛන්ධ සූත්ර සෝණ සූත්ර දෙක ය, නන්දික්ඛය සූත්ර දෙක දැයි අත්තදීපවර්ගයෙහි සූත්ර දශයෙකි.
මූලපණ්ණාසකය සමාප්ත යි.
ඒ මූලපණ්ණාසකයේ වර්ගෝද්දානය:
නකුලපිතු වර්ග ය, අනිච්ච වර්ග ය හා භාරවර්ග ය නතුම්හාක වර්ගයෙන් ද, අත්තදීප වර්ගයෙන් ද පඨම පණ්ණාසකය කියනු ලැබේ.