5. අත්තදීප වර්‍ගය
1. 1. 5. 1.
අත්තදීප සූත්‍රය
43. සැවැත්නුවර–
මහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු. (ලොවී ලොව්තුරා) දහම් පිහිට කොට දහම් සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු.
මහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට, මෙරමා පිහිට නො කොට ධර්‍මය පිහිට කොට, ධර්‍මය සරණ කොට මෙරමා සරණ නො කොට වසන තොප විසින් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් දැ” යි කාරණය ම විමසිය යුතු ය.
මහණෙනි, සෝකපරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය ධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, ආත්මය රූප ඇත්තක් කොට හෝ දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ රූපය විපරිණාමයට යෙයි, අන් පරිදි හෝ වෙයි. රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
වේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව විපරිණාමයට යෙයි, අන් අයුරු වෙයි. ඔහුට වේදනාවගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති. සංඥාව … සංස්කාර ආත්ම වශයෙන් දකියි, සංස්කාරවත් ආත්මය හෝ දකියි. ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ දකියි, සංස්කාරයන්හි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ සංස්කාර විපරිණාමයට යෙයි, අන්පරිදි වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
විඥානය ආත්ම විසින් දකියි. විඥානවත් ආත්මය හෝ දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ විඥානය විපරිණාමයට යෙයි. අන්පරිදි වෙයි. විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.
තවද මහණෙනි, රූපයාගේ ම අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන අතීතයෙහි වූ රූපය හා වර්‍තමානයෙහි වූ රූපය දැයි හැම රූ අනිත්‍යය, දුඃඛය, පෙරෙළෙන සැහැවි ඇතියි තෙල මෙසේ ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වේ, ත්‍රස්ත නො වනුයේ සුවසේ විහරණ කෙරෙයි සුවසේ විහරණ කරන මහණ (විදර්‍ශනාඞ්ගයෙන් ශෝක නිවුණු හෙයින්) “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
තවද මහණෙනි, වේදනාව පිළිබඳ අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන පෙර වූ වේදනා හා වර්‍තමානයෙහි වූ සියලු වේදනාවෝ අනිත්‍යයහ, දුඃඛයහ, පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
තවද මහණෙනි, සංඥාව පිළිබඳ වූ ම … මහණෙනි, සංස්කාරයන් පිළිබඳ වූ ම අනිත්‍යතාව දැන විපරිණාම විරාගනිරෝධය දැන අතීතයෙහි වූ සංස්කාර හා වර්‍තමානයෙහි වූ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, දුඃඛයහ, පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
තවද මහණෙනි, විඥානය පිළිබඳ වු ම අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන අතීතයෙහි වූ ම විඥානය හා වර්‍තමානයෙහි ද සියලු විඥානය අනිත්‍ය ය දුඃඛ ය පෙරළෙන සැහැවි ඇතියෙකියි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නහුට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත්ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
1. 1. 5. 2.
පටිපදා සූත්‍රය
44. සැවැත්නුවර–
මහණෙනි, තොපට සත්කාය සමුදය ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. සත්කාය නිරෝධ ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. ඒ අසව.
මහණෙනි, සත්කාය සමුදය ගාමිනී ප්‍රතිපත් කවර:
මහණෙනි, මෙලොව බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනාවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ වේදනාව දකියි, වේදනායෙහි ලා හෝ ආත්මය දකී.