1. 1. 5. 6.
ඛන්‍ධ සූත්‍රය
48. සැවැත්නුවර–
මහණෙනි, පඤ්චස්කන්‍ධ ද, පඤ්චෝපාදානස්කන්‍ධ ද දෙසමි. එය අසව …
මහණෙනි, පඤ්චස්කන්‍ධ කවරහ යත්: මහණෙනි, අතීත - අනාගත - වර්‍තමාන වූ, ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම්කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ රූපස්කන්‍ධ යි කියනු ලැබේ.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර … අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් ඇත් ද මේ විඥාන ස්කන්‍ධ’යි කියනු ලැබේ. මහණෙනි, මොහු පඤ්චස්කන්‍ධ යි කියනු ලැබෙත්:
මහණෙනි, පඤ්චෝපාදානස්කන්‍ධ කවරහ යත්: මහණෙනි, ආස්‍රව සහිත වූ උපාදානයනට ප්‍රත්‍යය වූ අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් රූපයක් ඇත් ද, ළඟ වූ හෝ දුර වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ ‘රූපෝපාදානස්කන්‍ධ’ යි කියනු ලැබේ.
යම්කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර … ආස්‍රව සහිත වූ උපාදානයනට ප්‍රත්‍යය වූ අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් ඇත් ද, මෙ විඥානෝපාදානස්කන්‍ධ යි කියනු ලැබේ.
මහණෙනි, මොහු පඤ්චෝපාදානස්කන්‍ධ යි කියනු ලැබෙත්:
1. 1. 5. 7.
පළමුවැනි සෝණ සූත්‍රය
49. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි සෝණ නම් ගෘහපති පුත්‍ර භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එ තන්හි එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගැහැවි පුත්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
සෝණය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්‍ය රූපයෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය මිස අන් කිමෙක? දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්‍ය වේදනායෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය මිස එ අන් කිම? දුක් වූ විපරිණාම ස්වභාව ඇති අනිත්‍ය සංඥායෙන් … දුක් වූ පෙරැළෙන ගති ඇති අනිත්‍ය සංස්කාරයෙන් … දුක් වූ පෙරැළෙන දහම් ඇති අනිත්‍ය විඥානයෙන් “මම විශිෂ්ටයෙමි” යි හෝ දකිත් ද, “මම සමාන යෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය හැර අන් කිමෙක?
සෝණය යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය රූපය හේතු කොට “මම විශිෂ්ට යෙමි” හෝ නො දකිත් ද, “මම තුල්‍යයෙමි” හෝ නො දකිත් ද, “මම හීනයෙමි” යි හෝ නො දකිත් ද, යථාභූතදර්‍ශනය හැර අන් කිමෙක? දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය වූ වේදනාව නිසා … අනිත්‍ය වූ සංඥාව නිසා … අනිත්‍ය වූ සංස්කාර නිසා … දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය විඥානය හේතු කොට “මම උත්තමයෙමි” යි කියාත් නො දකිත් ද, “මම සදෘශයෙමි” යි කියාත් නො දකිත් ද, “මම හීනයෙමි” යි කියාත් නො දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ දර්‍ශනය හැර අන් කිම?
සෝණය, ඒ කිසේ හඟියි: රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.