1. 1. 5. 3.
පළවැනි අනිච්චතා සූත්‍රය
45. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත (මාර්‍ගක්‍ෂණයෙහි දී) නො ඇලෙයි, (ඵලක්‍ෂණයෙහි දී) උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … අනිත්‍ය යි. යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත නො ඇලෙයි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
මහණෙනි, ඉදින් මහණහුගේ සිත රූපධාතුයෙහි නො ඇලුණේ උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේද. වේදනා ධාතුයෙහි … සංඥාධාතුයෙහි … සංස්කාර ධාතුයෙහි … මහණෙනි, ඉදින් මහණහුගේ සිත විඥානධාතුයෙහි නො ඇලුණේ වේ ද, උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් ගෙන් මිදුණේ වෙයි. විමුක්ත බැවින් මතුයෙහි (කළයුතු, කිස නැති හෙයින්) ස්ථිත වෙයි. ස්ථිත බැවින් (ලැබියයුතු දෑ ලැබීමෙන්) සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට බැවින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වනුයේ තමා කෙරෙහි ම (තමා විසින් ම) පිරිනිවෙයි. “ජාතිය, ක්‍ෂීණ විය. බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැති” යි දැන ගනී යි.
1. 1. 5. 4.
දෙවැනි අනිච්චතා සූත්‍රය
46. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ තෙල ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට පූර්‍වාන්තය අනුවගිය (අටළොස්) දෘෂ්ටීහු නො වෙත්. පූර්‍වාන්තානුදෘෂ්ටි නැති කල්හි අපරාන්තය, අනුව ගිය (සූසාළිස්) දෘෂ්ටීහු නො වෙත්. අපරාන්තානුදෘෂ්ටි නැති කල්හි දෘෂ්ටිශක්ති විසින් (දෘෂ්ටි) පරාමර්‍ශයෙක් නො වෙයි. දෘෂ්ටිශක්ති විසින් පරාමර්‍ශයෙක් නැති කල්හි රූපයෙහි වේදනායෙහි සංඥායෙහි සංස්කාරයන්හි විඥානයෙහි සිත නො ඇලෙයි, උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන්ගෙන් සිත මිදෙයි, මිදුණු හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වනුයේ තෙමේ ම පිරිනිවෙයි. “ජාතිය ගෙවිණ, බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ රහත් බව පිණිස අන්කිසෙක් නැති” යි දැනගනී යි.
1. 1. 5. 5.
සමනුපස්සනා සූත්‍රය
47. සැවැත්නුවර–
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි දෘෂ්ටි වශයෙන් දක්නාහු අනේකප්‍රකාර ආත්මය දකිත්. ඒ සියල්ලෝ පඤ්චෝපාදාන ස්කන්‍ධයන් දෘෂ්ටිවශයෙන් දකිති. ඒ පඤ්චෝපාදානස්කන්‍ධ අතුරෙන් අන්‍යතරයක් හෝ දකිත්.
කවර පසෙක් යත්:
මහණෙනි, මෙලොව බුද්ධාදී ආර්‍ය්‍යයන් නොදක්නා ආර්‍ය්‍යධර්‍ම පිළිබඳ අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍ම පිළිබඳ අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් දකියි. ආත්මය රූපවත් කොට හෝ දකියි. ආත්මයෙහිලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ආත්ම විසින් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි, ආත්මයෙහිලා හෝ විඥානය දකියි, විඥානයෙහි ලා හෝ ආත්මය දකියි.