1. 1. 5. 2.
පටිපදා සූත්‍රය
44. සැවැත්නුවර–
මහණෙනි, තොපට සත්කාය සමුදය ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. සත්කාය නිරෝධ ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. ඒ අසව.
මහණෙනි, සත්කාය සමුදය ගාමිනී ප්‍රතිපත් කවර:
මහණෙනි, මෙලොව බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනාවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ වේදනාව දකියි, වේදනායෙහි ලා හෝ ආත්මය දකී.
සංඥාව … සංස්කාර … විඥානය ආත්ම වශයෙන් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි, විඥානය ආත්මයෙහි ලා හෝ දකියි, ආත්මය විඥානයෙහි ලා හෝ දකියි. මහණෙනි, මේ සත්කායසමුදයගාමිනීප්‍රතිපදා ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුඃඛසමුදයගාමිනීසමනුදර්‍ශනා ය යි කියනු ලැබේ. මෙය ම මෙහි අර්‍ත්‍ථ යි.
මහණෙනි, සත්කාය නිරෝධගාමිනී ප්‍රතිපත් කවර:
මහණෙනි, මෙලොව බුද්ධාදි ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ දක්‍ෂ, ආර්‍ය්‍ය ධර්‍මයෙහි මොනවට හික්මුණු, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂ ධර්‍මය පිළිබඳ දක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි මොනවට හික්මුණු, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. වේදනාව ආත්ම වශයෙන් නො දකියි, … සංඥාව ආත්ම වශයෙන් නො දකියි, … සංස්කාර ආත්ම වශයෙන් නො දකියි, … විඥානය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය විඥානවත් කොට හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ලා හෝ නො දකියි, ආත්මය විඥානයෙහි ලා හෝ නො දකී. මහණෙනි, මෙ සත්කායනිරෝධගාමිනීප්‍රතිපත් යයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුඃඛනිරෝධගාමිනී සමනුදර්‍ශනා යයි කියනු ලැබේ. මෙය ය මෙහි අර්‍ත්‍ථ යි.
1. 1. 5. 3.
පළවැනි අනිච්චතා සූත්‍රය
45. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත (මාර්‍ගක්‍ෂණයෙහි දී) නො ඇලෙයි, (ඵලක්‍ෂණයෙහි දී) උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … අනිත්‍ය යි. යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත නො ඇලෙයි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
මහණෙනි, ඉදින් මහණහුගේ සිත රූපධාතුයෙහි නො ඇලුණේ උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේද. වේදනා ධාතුයෙහි … සංඥාධාතුයෙහි … සංස්කාර ධාතුයෙහි … මහණෙනි, ඉදින් මහණහුගේ සිත විඥානධාතුයෙහි නො ඇලුණේ වේ ද, උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් ගෙන් මිදුණේ වෙයි. විමුක්ත බැවින් මතුයෙහි (කළයුතු, කිස නැති හෙයින්) ස්ථිත වෙයි. ස්ථිත බැවින් (ලැබියයුතු දෑ ලැබීමෙන්) සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට බැවින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වනුයේ තමා කෙරෙහි ම (තමා විසින් ම) පිරිනිවෙයි. “ජාතිය, ක්‍ෂීණ විය. බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැති” යි දැන ගනී යි.