1. 1. 3. 9.
උප්පාද සූත්රය
30. සැවැත්නුවර–
මහණෙනි, රූපයාගේ යම් ඉපදීමෙක් ස්ථිතියක් අභිනිර්වෘතියක් පහළවීමෙක් ඇත් ද තෙල දුඃඛයාගේ උත්පාද යයි, රෝගයන්ගේ ස්ථිතිය යි, ජරාමරණයාගේ පහළවීම යි. වේදනාවගේ යම් ඉපදීමෙක් … සංඥාවගේ යම් ඉපදීමෙක් … සංස්කාරයන්ගේ යම් ඉපදීමෙක් … විඥානයාගේ යම් උත්පාදයෙක් ස්ථිතියක් අභිනිර්වෘතියක් ප්රාදුර්භාවයෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ උත්පාදය යි. රෝගයන්ගේ ස්ථිතිය යි. ජරාමරණයන්ගේ පහළවීම යි.
මහණෙනි, රූපයාගේ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් (සන්හිඳීමෙක්) අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ යයි, ව්යුපශම යයි, අස්තඞ්ගම යයි. වේදනායෙහි යම් නිරෝධයෙක් … සංඥායෙහි යම් නිරෝධයෙක් … සංස්කාරයන්ගේ යම් නිරෝධයෙක් … විඥානයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ ය, සන්හිඳීම අස්තයට යෑම් වේ යයි.
1. 1. 3. 10.
අඝමූල සූත්රය
31. සැවැත්නුවර–
මහණෙනි, තොපට දුඃඛය ද, දුඃඛ මූලය ද දේශනා කරමි. එය අසව:
මහණෙනි, දුඃඛය කවරෙ යත්:
මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක් යැ, මහණෙනි, මේ දුකැයි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛමූලය කවරෙ යත්:
පුනර්භවය ඇති කරන නන්දිරාගසහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්දනා කරන යම් තෘෂ්ණාවක් ඇත් ද, ඒ කවර යැ: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභාවතෘෂ්ණා යි. මහණෙනි, මේ දූඃඛමූල යයි කියනු ලැබේ.
1. 1. 3. 11.
පභඞ්ගු සූත්රය
32. සැවැත්නුවර–
මහණෙනි, තොපට බිඳෙනසුලු දැය ද දෙසමි, නො බිඳෙනසුලු දැය ද දෙසමි. එය අසව.
මහණෙනි, කුමක් නම් බිඳෙනසුලු වේ ද, කුමක් නම් නො බිඳෙනසුලු වේ ද:
මහණෙනි, රූපය බිඳෙනසුලු වෙයි. ඒ රූපයාගේ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. වේදනාව බිඳෙන සුලු යැ, ඒ වේදනාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙනසුලු වෙයි. සංඥාව බිඳෙන සුලු වෙයි. ඒ සංඥාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද තෙල නො බිඳෙන සුලු වෙයි. සංස්කාර බිඳෙන සුලු වෙයි. ඒ සංස්කාර පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. විඥානය බිඳෙනසුලු වෙයි. ඒ විඥානය පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද තෙල නො බිඳෙනසුලු වෙයි.
තෙවැනි භාරවර්ගය යි.
එහි උද්දානය:
භාරසූත්රය, පරිඤ සූත්රය, අභිජානසූත්රය, ඡන්දරාග සූත්රය හා අස්සාද සූත්ර තුණය, අභිනන්දන සූත්රය, උප්පාද සූත්රය, අඝමූලසූත්රය, පභංගු සූත්රය යන එකොළොස යි.