3. භාර වර්ගය
1. 1. 3. 1.
භාර සූත්රය
22. සැවැත්නුවර–
මහණෙනි, තොපට භාරය ද දෙසමි. භාරහාරය හා භාරාදානය හා භාරනික්ඛේපය හා දෙසමි. එය අසව … තෙල වදාළහ.
මහණෙනි, “භාර” නම් කවරේ යත්: පඤ්ච උපාදාන ස්කන්ධහ’යි කියයුතු වෙයි.
කවර පසෙක: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්ධය යැ, වේදනෝපාදානස්කන්ධය යැ, සංඥෝපාදානස්කන්ධය යැ, සංස්කාරෝපාදානස්කන්ධය යැ, විඥානෝපාදානස්කන්ධ යි. මහණෙනි, මේ භාරයැ යි කියනු ලැබෙයි.
කවර පසෙක: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්ධය යැ, වේදනෝපාදානස්කන්ධය යැ, සංඥෝපාදානස්කන්ධය යැ, සංස්කාරෝපාදානස්කන්ධය යැ, විඥානෝපාදානස්කන්ධ යි. මහණෙනි, මේ භාරයැ යි කියනු ලැබෙයි.
මහණෙනි, “භාරහාර” නම් කවරෙ යත්: පුද්ගල යයි කිය යුතු වෙයි. මෙබඳු නම් ඇති, මෙබඳු ගෝත්ර ඇති, යම් ආයුෂ්මත් කෙනෙක් ඇත් ද, මහණෙනි, මේ “භාරහාර” යයි කියනු ලැබෙයි.
මහණෙනි, “භාරදාන” නම් කවරෙ යත්: පුනර්භවය පිණිස පවත්නා නන්දිරාග සහගත වූ රූපාදි ඒ ඒ අරමුණෙහි අභිනන්දන ස්වභාව ඇති යම් මෙ තෘෂ්ණායෙක් ඇත් ද, ඒ කෙසේ ද යත්: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ “භාරදාන” යි කියනු ලැබෙයි.
මහණෙනි, “භාරනික්ඛේප” නම් කවරෙ යත්, ඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂ විරාගනිරොධයෙක්, පරිත්යාගයෙක්, හැරැපීමෙක්, බිඳීමෙක්, නො ඇල්මෙක් ඇත් ද, මහණෙනි, මෙ “භාරනික්ඛේප” යි කියනු ලැබේ.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා ශාස්තෘ වූ බුදුහු යළිදු අන්ය වූ තෙල ගාථා ද වදාළ සේකි.
1. පඤ්චස්කන්ධයෝ එකැතින් භාරයහ. වැළි පුද්ගල භාරහාර වෙයි, ලෝකයෙහි භාරාදානය (භාරග්රහණය) දුක්වෙයි, භාරනික්ඛේපය සුඛ වෙයි.
2. ගුරුබර බහා තබා අන්බරක් නො ගෙන අවිද්යා මූල සහිත තෘෂ්ණාව උදුරා නිස්තෘෂ්ණ වූයේ පිරිනිවියේ නම් වේ.
1. 1. 3. 2.
පරිඤ්ඤා සූත්රය
23. සැවැත්නුවර–
මහණෙනි, පරිඥේය ධර්මයනුදු දෙසමි. පරිඥා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පරිඥේය ධර්මයෝ කවරහ යත්:
මහණෙනි, රූපය පරිඥේය (සමතික්රම කළයුතු) ධර්ම යැ, වේදනා පරිඥේය ධර්ම යැ සංඥා පරිඥේය ධර්ම යැ සංස්කාර පරිඥේය ධර්ම යැ විඥාන පරිඥේය ධර්ම යි. මහණෙනි, මොහු පරිඥේය ධර්මහ යි කියනු ලැබෙත්.
මහණෙනි, පරිඥා කවර යත්:
මහණෙනි, යම් රාගක්ෂයෙක් දෝසක්ෂයෙක් මෝහක්ෂයෙක් ඇත් ද, මහණෙනි, මේ පරිඥා යි කියනු ලැබේ.
1. 1. 3. 3.
අභිජාන සූත්රය
24. සැවැත්නුවර–
මහණෙනි, රූපය ඥාතපරිඥා වශයෙන් නො දන්නේ, තීරණ පරිඥා වශයෙන් නො දන්නේ, ප්රහාණපරිඥා වශයෙන් නො ඉක්මවනුයේ, නො හරනේ, දුඃඛක්ෂය පිණිස අභව්ය යැ, වේදනා ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් නො දන්නේ … සංස්කාර ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … විඥාන ඥාතපරිඥා වශයෙන් නො දන්නේ තීරණ පරිඥාවශයෙන් නො දන්නේ ප්රහාණ පරිඥාවශයෙන් නො ඉක්ම වනුයේ නො හරනේ දුඃඛක්ෂය පිණිස අභව්ය යි.
මහණෙනි, රූපය ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණපරිඥාවශයෙන් දන්නේ ප්රහාණ පරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්ෂය පිණිස භව්ය වෙයි. වේදනා ඥාතපරිඥාවශයෙන් දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් දන්නේ … සංස්කාර ඥාතපරිඥා වශයෙන් දන්නේ … විඥාන ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණ පරිඥාවශයෙන් දන්නේ ප්රහාණපරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්ෂය පිණිස භව්ය වේ.
1. 1. 3. 4.
ඡන්දරාග සූත්රය
25. සැවැත්නුවර–
මහණෙනි, රූපයෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ රූපය, ප්රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ අනභාව කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වෙයි.
වේදනායෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ වේදනාව, ප්රහීණ වෙයි. උසුන් මුල් ඇති වෙයි. මුදුන් සුන් තලක් සෙයින් කරණ ලද අවස්තුකභාව ඇති වෙයි. අනභාව කරන ලද වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ.
සංඥායෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය හැරපියව … සංස්කාරයන්හි යම් ඡන්ද රාගයෙක් ඇත් ද, එය දුරුකරව, මෙසේ ඒ සංස්කාරයෝ ප්රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.
විඥානයෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය නෙරව. මෙසේ ඒ විඥානය, ප්රහීණ වූයේ. උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ, අනභාව කරන ලදුයේ. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වේ.