1. 1. 3. 10.
අඝමූල සූත්රය
31. සැවැත්නුවර–
මහණෙනි, තොපට දුඃඛය ද, දුඃඛ මූලය ද දේශනා කරමි. එය අසව:
මහණෙනි, දුඃඛය කවරෙ යත්:
මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක් යැ, මහණෙනි, මේ දුකැයි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛමූලය කවරෙ යත්:
පුනර්භවය ඇති කරන නන්දිරාගසහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්දනා කරන යම් තෘෂ්ණාවක් ඇත් ද, ඒ කවර යැ: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභාවතෘෂ්ණා යි. මහණෙනි, මේ දූඃඛමූල යයි කියනු ලැබේ.
1. 1. 3. 11.
පභඞ්ගු සූත්රය
32. සැවැත්නුවර–
මහණෙනි, තොපට බිඳෙනසුලු දැය ද දෙසමි, නො බිඳෙනසුලු දැය ද දෙසමි. එය අසව.
මහණෙනි, කුමක් නම් බිඳෙනසුලු වේ ද, කුමක් නම් නො බිඳෙනසුලු වේ ද:
මහණෙනි, රූපය බිඳෙනසුලු වෙයි. ඒ රූපයාගේ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. වේදනාව බිඳෙන සුලු යැ, ඒ වේදනාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙනසුලු වෙයි. සංඥාව බිඳෙන සුලු වෙයි. ඒ සංඥාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද තෙල නො බිඳෙන සුලු වෙයි. සංස්කාර බිඳෙන සුලු වෙයි. ඒ සංස්කාර පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. විඥානය බිඳෙනසුලු වෙයි. ඒ විඥානය පිළිබඳ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද තෙල නො බිඳෙනසුලු වෙයි.
තෙවැනි භාරවර්ගය යි.
එහි උද්දානය:
භාරසූත්රය, පරිඤ සූත්රය, අභිජානසූත්රය, ඡන්දරාග සූත්රය හා අස්සාද සූත්ර තුණය, අභිනන්දන සූත්රය, උප්පාද සූත්රය, අඝමූලසූත්රය, පභංගු සූත්රය යන එකොළොස යි.