1. 1. 3. 11.
පභඞ්ගු සූත්‍රය
32. සැවැත්නුවර–
මහණෙනි, තොපට බිඳෙනසුලු දැය ද දෙසමි, නො බිඳෙනසුලු දැය ද දෙසමි. එය අසව.
මහණෙනි, කුමක් නම් බිඳෙනසුලු වේ ද, කුමක් නම් නො බිඳෙනසුලු වේ ද:
මහණෙනි, රූපය බිඳෙනසුලු වෙයි. ඒ රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. වේදනාව බිඳෙන සුලු යැ, ඒ වේදනාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙනසුලු වෙයි. සංඥාව බිඳෙන සුලු වෙයි. ඒ සංඥාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද තෙල නො බිඳෙන සුලු වෙයි. සංස්කාර බිඳෙන සුලු වෙයි. ඒ සංස්කාර පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. විඥානය බිඳෙනසුලු වෙයි. ඒ විඥානය පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද තෙල නො බිඳෙනසුලු වෙයි.
තෙවැනි භාරවර්‍ගය යි.
එහි උද්දානය:
භාරසූත්‍රය, පරිඤ සූත්‍රය, අභිජානසූත්‍රය, ඡන්‍දරාග සූත්‍රය හා අස්සාද සූත්‍ර තුණය, අභිනන්‍දන සූත්‍රය, උප්පාද සූත්‍රය, අඝමූලසූත්‍රය, පභංගු සූත්‍රය යන එකොළොස යි.
4. නතුම්හාක වර්‍ගය
1. 1. 4. 1.
පළවැනි නතුම්හාක සූත්‍රය
33. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ මහණහු ද ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය (ඡන්‍දරාගප්‍රහාණ විසින්) දුරු කරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යැ.
මහණෙනි, කවරක් තොපගේ නො වේය යත්:
මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය තොපගේ නො වෙයි. එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වේ.
මහණෙනි, යම්සේ මේ දෙව්රම්හි තණ - දැව - අතු කොළ ඇත් ද ජනයා එය රැගෙන යන්නේ හෝ දවන්නේ හෝ කැමැති පරිදි කරන්නේ හෝ වේද, (එකල්හි) මහණෙනි, තොපට මේ සිත වන්නේ ද: “ජනයා අප හැරගෙන යෙයි හෝ දවයි හෝ කැමැති පරිදි කෙරෙයි හෝ” යි?
වහන්ස, තෙල නො වේ මැයි.
ඒ කවර හෙයිනැ?
වහන්ස, තෙල අපගේ ආත්ම හෝ ආත්ම පිළිබඳ හෝ නො ම වෙයි.
මහණෙනි, එ පරිදි ම රූපය තොපගේ නො වෙයි, එය දුරු කරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරව, එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 1. 4. 2.
දෙවැනි නතුම්හාක සූත්‍රය
34. සැවැත්නුවර–
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරලවු. එහ ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නෙ ය.