1. 1. 3. 7.
තෙවැනි අස්සාද සූත්‍රය
28. සැවැත්නුවර–
මහණෙනි, රූපයාගේ ආස්වාදයෙක් නැත් නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයකින් රූපයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූප යෙහි ඇලෙති.
මහණෙනි, රූපයාගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො කල කිරෙති. මහණෙනි, යම්හෙයෙකින් රූපයාගේ ආදීනවයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයෙහි නිර්වේද කෙරෙත්.
මහණෙනි, රූපයාගේ නිශ්ශරණයෙක් නො වී නම්, සත්ත්‍වයෝ රූපයෙන් නිශ්ශෘත නො වෙති. මහණෙනි, යම් හෙයෙකින් රූපයාගේ නිශ්ශරණ ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපය කෙරෙන් නිශ්ශරණ කෙරෙත්.
මහණෙනි, වේදනායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සඥායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සංස්කාරයන්ගේ ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, විඥානයාගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ, විඥානයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි ඇලෙත්.
මහණෙනි, විඥානයාගේ ආදීනවයෙක් නොවී නම් සත්ත්‍වයෝ විඥානයෙහි නිර්වේද නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආදීනව ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි කලකිරෙත්.
මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ නො වී නම්, සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නිශ්ශරණ නො කෙරෙති. මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නික්මයෙත්.
මහණෙනි, යම්තාක්කල් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදානස්කන්‍ධන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇතිතතු අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝවැසි සත්ත්‍වයෝ දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වප්‍රජාව නිශ්ශෘත වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුත්ත වූවාහු සීමා කොට නොගත් සිතින් යුතුව වාස නො කළාහු ම ය.
මහණෙනි, යම් කලෙක පටන් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණ නිශ්ශරණ විසිනුදු ඇතිතතු දත්තාහු ද, මහණෙනි, එසඳ සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝවැස්සෝ මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍ව ප්‍රජාව (මේ පස් කඳින්) නික්මුණාහුය, විසංයුක්ත වූහුය, වෙසෙසින් මිදුණාහුය, සීමා කොට නො ගත් සිතින් යුතුව වාසය කෙරෙත් යි.
1. 1. 3. 8.
අභිනන්‍දන සූත්‍රය
29. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් රූපය අභිනන්‍දනා කෙරෙයි (සතුටින් පිළිගනියි) ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි. යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් විඥානය අභිනන්‍දනා කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි.