1. 1. 3. 6.
දෙවැනි අස්සාද සූත්‍රය
27. සැවැත්නුවර–
මහණෙනි, මම රූපයාගේ ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආස්වාදයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය ද අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ නිශ්ශරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී.
මහණෙනි, මම වේදනාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි, … මහණෙනි, මම සංඥාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම සංස්කාර පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම විඥානය පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආස්වාදයක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදී. මහණෙනි, මම විඥානය පිළිබඳ ආදීනව පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම විඥානයාගේ නිශ්ශරණපර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද එය මා විසින් ප්‍රඥායෙන් දක්නා ලදී.
මහණෙනි, මම යම්තාක් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු නුවණින් අවබෝධ නො කෙළෙම් වේ ද, මහණෙනි, මම ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය මොනවට අවබෝධ කෙළෙමි යි පිළින නො කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ මෙසේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු මොනොවට අවබෝධ කෙළෙම් වේ ද, මහණෙනි, එසඳ මම දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි ලා අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යී ප්‍රතිඥා කෙළෙමි. මාගේ චේතෝ විමුක්තිය අකෝප්‍ය යැ. මේ අන්තිම ජාති වෙයි, දැන් පුනර්‍භවයෙක් නැති යි මට ඥානදර්‍ශනය ද උදා විය.
1. 1. 3. 7.
තෙවැනි අස්සාද සූත්‍රය
28. සැවැත්නුවර–
මහණෙනි, රූපයාගේ ආස්වාදයෙක් නැත් නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයකින් රූපයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූප යෙහි ඇලෙති.
මහණෙනි, රූපයාගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො කල කිරෙති. මහණෙනි, යම්හෙයෙකින් රූපයාගේ ආදීනවයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයෙහි නිර්වේද කෙරෙත්.
මහණෙනි, රූපයාගේ නිශ්ශරණයෙක් නො වී නම්, සත්ත්‍වයෝ රූපයෙන් නිශ්ශෘත නො වෙති. මහණෙනි, යම් හෙයෙකින් රූපයාගේ නිශ්ශරණ ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපය කෙරෙන් නිශ්ශරණ කෙරෙත්.
මහණෙනි, වේදනායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සඥායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සංස්කාරයන්ගේ ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, විඥානයාගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ, විඥානයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි ඇලෙත්.
මහණෙනි, විඥානයාගේ ආදීනවයෙක් නොවී නම් සත්ත්‍වයෝ විඥානයෙහි නිර්වේද නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආදීනව ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි කලකිරෙත්.
මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ නො වී නම්, සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නිශ්ශරණ නො කෙරෙති. මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නික්මයෙත්.
මහණෙනි, යම්තාක්කල් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදානස්කන්‍ධන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇතිතතු අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝවැසි සත්ත්‍වයෝ දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වප්‍රජාව නිශ්ශෘත වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුත්ත වූවාහු සීමා කොට නොගත් සිතින් යුතුව වාස නො කළාහු ම ය.
මහණෙනි, යම් කලෙක පටන් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණ නිශ්ශරණ විසිනුදු ඇතිතතු දත්තාහු ද, මහණෙනි, එසඳ සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝවැස්සෝ මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍ව ප්‍රජාව (මේ පස් කඳින්) නික්මුණාහුය, විසංයුක්ත වූහුය, වෙසෙසින් මිදුණාහුය, සීමා කොට නො ගත් සිතින් යුතුව වාසය කෙරෙත් යි.
1. 1. 3. 8.
අභිනන්‍දන සූත්‍රය
29. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් රූපය අභිනන්‍දනා කෙරෙයි (සතුටින් පිළිගනියි) ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි. යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් විඥානය අභිනන්‍දනා කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි.