1. 1. 3. 5.
පළවැනි අස්සාද සූත්රය
26. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පළමු මැ අභිසම්බෝධියට නො පත් බෝසත් වූ මැ මට මේ සිත පහළ විය:
රූපයාගේ ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ, නිස්සරණය කිමෙක: වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්ගේ … විඥානයෙහි ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ. නිස්සරණය කිමෙකැයි.
මහණෙනි, ඒ මාහට තෙල සිත විය: රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්ය ද දුක් ද විපරිණාම සැහැවි ද, මේ රූපයාගේ ආදීනව යි. රූපයෙහි යම් ඡන්දරාග විනයෙක් ඡන්දරාග ප්රහාණයෙක් ඇත් ද, මේ රූපයාගේ නිස්සරණ යි.
වේදනාව නිසා … සංඥාව නිසා … සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙසංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්ගේ යම් ඡන්දරාගවිනයෙක් ඡන්දරාගප්රහාණයෙක් ඇත් ද, මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි.
විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්සාද යි. යම් විඥානයෙක් අනිත්ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මේ විඥානයාගේ ආදීනව යි. විඥානයෙහි යම් ඡන්දරාග විනයෙක් ඡන්දරාගප්රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.
මහණෙනි, යම්තාක් මම් මෙ පඤ්චෝපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනව ආදීනව වශයෙන් ද නිශ්ශරණ නිශ්ශරණ වශයෙන් ද මේ සෙයින් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්වප්රජාව කෙරෙහි අනුත්තර වූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමැයි නො ම ප්රතිඥා කෙළෙමි.
මහණෙනි, යම් කාලෙක පටන් මම මේ පඤ්චෝපාදානස්කන්ධයන් ගේ ආස්වාදය ආස්වාද විසින් ද ආදීනව ආදීනව විසින් ද නිශ්ශරණය නිශ්ශරණ විසින් ද මෙ සෙයින් යථාභූත කොට අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්වප්රජාව කෙරෙහි අනුත්තර වූ සම්යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැයි ප්රතිඥා කෙළෙමි. මට ඥානදර්ශනය ද උපන, මාගේ චේතෝවිමුක්තිය (ඵලසමාධිය) අකෝප්ය යැ, මේ අන්තිම ජාතිය යි, දැන් පුනර්භවයෙක් නැති යි.
1. 1. 3. 6.
දෙවැනි අස්සාද සූත්රය
27. සැවැත්නුවර–
මහණෙනි, මම රූපයාගේ ආස්වාද පර්ය්යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආස්වාදයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, ඒ මා විසින් ප්රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ ආදීනව පර්ය්යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය ද අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ නිශ්ශරණ පර්ය්යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද ඒ මා විසින් ප්රඥායෙන් මොනවට දක්නා ලදී.
මහණෙනි, මම වේදනාව පිළිබඳ ආස්වාද පර්ය්යෙෂණය කළෙමි, … මහණෙනි, මම සංඥාව පිළිබඳ ආස්වාද පර්ය්යෙෂණය කළෙමි. … මහණෙනි, මම සංස්කාර පිළිබඳ ආස්වාද පර්ය්යෙෂණය කළෙමි. … මහණෙනි, මම විඥානය පිළිබඳ ආස්වාද පර්ය්යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආස්වාදයක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, එය මා විසින් ප්රඥායෙන් මොනොවට දක්නා ලදී. මහණෙනි, මම විඥානය පිළිබඳ ආදීනව පර්ය්යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම විඥානයාගේ නිශ්ශරණපර්ය්යෙෂණය කළෙමි. විඥානයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද එය මා විසින් ප්රඥායෙන් දක්නා ලදී.
මහණෙනි, මම යම්තාක් මේ පඤ්චෝපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු නුවණින් අවබෝධ නො කෙළෙම් වේ ද, මහණෙනි, මම ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්වාඛ්ය ප්රජායෙහි අනුත්තර සම්යක් සම්බෝධිය මොනවට අවබෝධ කෙළෙමි යි පිළින නො කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ පඤ්චෝපාදානස්කන්ධයන්ගේ මෙසේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු මොනොවට අවබෝධ කෙළෙම් වේ ද, මහණෙනි, එසඳ මම දෙවියන් සහිත මරුන් සහිත බ්රහ්මයන් සහිත ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්යයන් සහිත සත්ත්වාඛ්ය ප්රජායෙහි ලා අනුත්තර සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යී ප්රතිඥා කෙළෙමි. මාගේ චේතෝ විමුක්තිය අකෝප්ය යැ. මේ අන්තිම ජාති වෙයි, දැන් පුනර්භවයෙක් නැති යි මට ඥානදර්ශනය ද උදා විය.
1. 1. 3. 7.
තෙවැනි අස්සාද සූත්රය
28. සැවැත්නුවර–
මහණෙනි, රූපයාගේ ආස්වාදයෙක් නැත් නම් සත්ත්වයෝ රූපයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයකින් රූපයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්වයෝ රූප යෙහි ඇලෙති.