1. 1. 3. 4.
ඡන්දරාග සූත්රය
25. සැවැත්නුවර–
මහණෙනි, රූපයෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ රූපය, ප්රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ අනභාව කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වෙයි.
වේදනායෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ වේදනාව, ප්රහීණ වෙයි. උසුන් මුල් ඇති වෙයි. මුදුන් සුන් තලක් සෙයින් කරණ ලද අවස්තුකභාව ඇති වෙයි. අනභාව කරන ලද වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ.
සංඥායෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය හැරපියව … සංස්කාරයන්හි යම් ඡන්ද රාගයෙක් ඇත් ද, එය දුරුකරව, මෙසේ ඒ සංස්කාරයෝ ප්රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.
විඥානයෙහි යම් ඡන්දරාගයෙක් ඇත් ද, එය නෙරව. මෙසේ ඒ විඥානය, ප්රහීණ වූයේ. උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ, අනභාව කරන ලදුයේ. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වේ.
1. 1. 3. 5.
පළවැනි අස්සාද සූත්රය
26. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පළමු මැ අභිසම්බෝධියට නො පත් බෝසත් වූ මැ මට මේ සිත පහළ විය:
රූපයාගේ ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ, නිස්සරණය කිමෙක: වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්ගේ … විඥානයෙහි ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ. නිස්සරණය කිමෙකැයි.
මහණෙනි, ඒ මාහට තෙල සිත විය: රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්ය ද දුක් ද විපරිණාම සැහැවි ද, මේ රූපයාගේ ආදීනව යි. රූපයෙහි යම් ඡන්දරාග විනයෙක් ඡන්දරාග ප්රහාණයෙක් ඇත් ද, මේ රූපයාගේ නිස්සරණ යි.
වේදනාව නිසා … සංඥාව නිසා … සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙසංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්ගේ යම් ඡන්දරාගවිනයෙක් ඡන්දරාගප්රහාණයෙක් ඇත් ද, මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි.
විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්සාද යි. යම් විඥානයෙක් අනිත්ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මේ විඥානයාගේ ආදීනව යි. විඥානයෙහි යම් ඡන්දරාග විනයෙක් ඡන්දරාගප්රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.
මහණෙනි, යම්තාක් මම් මෙ පඤ්චෝපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනව ආදීනව වශයෙන් ද නිශ්ශරණ නිශ්ශරණ වශයෙන් ද මේ සෙයින් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්වප්රජාව කෙරෙහි අනුත්තර වූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමැයි නො ම ප්රතිඥා කෙළෙමි.
මහණෙනි, යම් කාලෙක පටන් මම මේ පඤ්චෝපාදානස්කන්ධයන් ගේ ආස්වාදය ආස්වාද විසින් ද ආදීනව ආදීනව විසින් ද නිශ්ශරණය නිශ්ශරණ විසින් ද මෙ සෙයින් යථාභූත කොට අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්වප්රජාව කෙරෙහි අනුත්තර වූ සම්යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැයි ප්රතිඥා කෙළෙමි. මට ඥානදර්ශනය ද උපන, මාගේ චේතෝවිමුක්තිය (ඵලසමාධිය) අකෝප්ය යැ, මේ අන්තිම ජාතිය යි, දැන් පුනර්භවයෙක් නැති යි.