9. 1. 6.
ලකුණ්ටකභද්දිය සූත්‍රය
400. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් දුර දී ම එනුවන් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, තෙපි තෙල එන්නා වූ දුර්‍වණ නපුරු දැකුම් ඇති මිටි වූ භික්‍ෂූන් විසින් අවමන් කරණ ලද ස්වරූප ඇති මහණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් නො සමවන්විරූ යම් සමවතෙක් වේ ද, එබඳු සමවතෙක් සුලබ නො වේ. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තරඅර්‍හත්‍වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
හංසයෝත් කොස්වාලිහිණියෝත් මොනරුත් ඇත්තුත් තිත් මුවෝත් සියල්ලෝ සිංහයාගෙන් බති. කයෙහි සමබවෙක් (පමණ ගිණීමෙක්) නැත.
එසෙයින් ම මිනිසුන් අතර නුවණැත්තේ ඉදින් ලදරු වූයේ ද, හෙතෙමේ ම එහි පූජ්‍ය වෙයි. බාල (අඥ) තෙමේ මහත් සිරුරක් ඇත්තේ ද නො ම පූජ්‍ය වෙයි.
9. 1. 7.
විසාඛ පඤ්චාලිපුත්ත සූත්‍රය
401. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි (පඤ්චාලිරාජ දුහිතෘ පුත්‍ර බැවින්) පඤ්චාලිපුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ නො පැකුළුණු කෙලතොලු නො වු (=නිදොස් වූ) අර්‍තවය අඟවන සිවුසස් නො හැර පවසන සසරට නිසි නො වූ නාගරික (=පුරවැසිබස් සෙයින් මිහිරි වූ) වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන් හලෙහි භික්‍ෂූන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටි සේක් උවටැන්හල වෙත එළඹි සේක. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, කවරෙක් නො පැකුළුණු කෙලතොලු නුවූ (=නිදොස් වූ) අරුත් අඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතායෙන් උවටැන් හලෙහි භික්‍ෂූන් කරුණු දක්වා ද, සමාදන් කරවා ද, තෙද ගන්වා ද, සතුටු කෙරේ දැ යි? වහන්ස පඤ්චාලි පුත්‍ර වූ ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන්හලෙහි භික්‍ෂූන් කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙති යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පඤ්චාලිපුත්‍ර වූ විසාඛ තෙරුන් ඇමතූ සේක. විසාඛ, මැනැවි. මැනැවි. විසාඛ, තෙපි නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසර ඇසුරු නො කළ මධුර වචනයෙන් දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වවු. සමාදන් කරවවු, තෙද ගන්වවු, සතුටු කරවවු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි දු මෙය වදාළ සේක:
බාලයන් හා එක් වූ කථික (පණ්ඩිතයා) ලෝවැස්සෝ නො දනිත් අමාපදය දෙසන කථික (පණ්ඩිතයා) දැන ගණිත්.
ධර්‍මය කියන්නේ ය. බබුලුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජ ය දැඩි කොට ගන්නේ ය. ඍෂීහු සුභාෂිතය ධ්වජ කොට ඇත්තාහ. නව ලොවුතුරු දහම ඍෂීන්ගේ ධ්වජ ය යි.
9. 1. 8.
නන්‍ද සූත්‍රය
402. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුලුමවුපුත් ආයුෂ්මත් නන්‍ද ස්ථවිර තෙමේ කොළන ලද පිළිකොළන ලද (මටසිලුටු සිහින්) සිවුරු පොරවා. ඇස් අඳුනෙන් සදා වෙසෙසින් පහන් පැහැති පාත්‍රයක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් නන්ඳහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: