9. 1. 7.
විසාඛ පඤ්චාලිපුත්ත සූත්රය
401. එක් කලෙක භාග්යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි (පඤ්චාලිරාජ දුහිතෘ පුත්ර බැවින්) පඤ්චාලිපුත්ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ නො පැකුළුණු කෙලතොලු නො වු (=නිදොස් වූ) අර්තවය අඟවන සිවුසස් නො හැර පවසන සසරට නිසි නො වූ නාගරික (=පුරවැසිබස් සෙයින් මිහිරි වූ) වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන් හලෙහි භික්ෂූන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටි සේක් උවටැන්හල වෙත එළඹි සේක. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන් සේක වැඩ හිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, කවරෙක් නො පැකුළුණු කෙලතොලු නුවූ (=නිදොස් වූ) අරුත් අඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතායෙන් උවටැන් හලෙහි භික්ෂූන් කරුණු දක්වා ද, සමාදන් කරවා ද, තෙද ගන්වා ද, සතුටු කෙරේ දැ යි? වහන්ස පඤ්චාලි පුත්ර වූ ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන්හලෙහි භික්ෂූන් කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙති යි.
එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් පඤ්චාලිපුත්ර වූ විසාඛ තෙරුන් ඇමතූ සේක. විසාඛ, මැනැවි. මැනැවි. විසාඛ, තෙපි නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසර ඇසුරු නො කළ මධුර වචනයෙන් දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වවු. සමාදන් කරවවු, තෙද ගන්වවු, සතුටු කරවවු යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි දු මෙය වදාළ සේක:
බාලයන් හා එක් වූ කථික (පණ්ඩිතයා) ලෝවැස්සෝ නො දනිත් අමාපදය දෙසන කථික (පණ්ඩිතයා) දැන ගණිත්.
ධර්මය කියන්නේ ය. බබුලුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජ ය දැඩි කොට ගන්නේ ය. ඍෂීහු සුභාෂිතය ධ්වජ කොට ඇත්තාහ. නව ලොවුතුරු දහම ඍෂීන්ගේ ධ්වජ ය යි.
9. 1. 8.
නන්ද සූත්රය
402. සැවැත්නුවර–
එකල්හි භාග්යවතුන් වහන්සේ සුලුමවුපුත් ආයුෂ්මත් නන්ද ස්ථවිර තෙමේ කොළන ලද පිළිකොළන ලද (මටසිලුටු සිහින්) සිවුරු පොරවා. ඇස් අඳුනෙන් සදා වෙසෙසින් පහන් පැහැති පාත්රයක් ගෙණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් නන්ඳහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
නන්ද, යම්බඳු තෝ කොළන ලද පිළිකොළන ලද සිවුරු පොරවන්නෙහි නම්, ඇස් අඳුනෙන් සදන්නෙහි නම්, වෙසෙසින් පහන් පැහැති පාත්රයක් දරන්නෙහි නම් එය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණි කුලපුත්ර වූ තොපට නිසි නො වේ. නන්ද යම්බඳු තෝ ආරණ්යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද වන්නෙහි නම්, කාමයන්හිත් නිරපේක්ෂක ව වෙසෙන්නෙහි නම්, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූ කුලපුත්ර වූ තොපට මෙය සුදුසු වේ මැ යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
ආරණ්යක වූ පංසුකූලික වූ ප්රකට කුලයන්හි ම නොව ගෙපිළිවෙළින් පිඬු සිඟීමෙන් යැපෙන්නා වූ කාමයන්හි නිරපේක්ෂක වූ නන්ඳයන් මම කවදා දක්නෙම් ද?
ඉක්බිත් ආයුෂ්මත් නන්ද තෙමේ මෑත භාගයෙහි ආරණ්යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද විය. කාමයන්හි නිරපේක්ෂක ව විසී ය.
9. 1. 9.
තිස්ස සූත්රය
403. සැවැත්නුවර–
එකල්හි භාග්යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් වූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ දුක් ඇත්තේ හටගත් දොම්නස් ඇත්තේ කඳුලු වගුරවමින් එකත්පසෙක හුන්නේ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්සහට - තිස්ස, තෝ කුමක් හෙයින් දුක් ඇත්තෙහි හටගත් දොම්නස් ඇත්තෙහි කඳුලු වගුරුවමින් එකත්පසෙක හුන්නෙහි දැයි මෙය වදාළ සේක.
වහන්ස, එය එසේ මැයි: භික්ෂූහු වචනකෙවිටෙන් මට හාත්පස මතුමතුයෙහි විද්දාහු ය. තිස්ස, එය එසේ මැයි. තෝ (මෙරමාහට) කියන්නෙකි. මෙරමා වදන් නො ම ඉවසන්නෙකි. තිස්ස, යම්බඳු තෝ කියන්නෙක් වෙහි ද, මෙරමා වදන් නො ඉවසන්නෙක් වෙහි ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන් කුලපුත්ර වූ තට එය නිසි නො වේ. තිස්ස, යම්බඳු තෝ කියන්නෙහිත් මෙරමා වදන් ඉවසන්නෙහිත් වන්නෙහි නම් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිදිවන් කුලපුත්ර වූ තට මෙය නිසි වේ මැ යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
කුමක් හෙයින් කිපෙහි ද? නො කිපෙව. තිස්ස, තට නො කිපීම උතුමි. තිස්ස ක්රෝධය ,මානය, මකුගුණය දුරු කිරීම පිණිස ම බඹසර වෙසේ යි.
9. 1. 10.
ථේරනාම සූත්රය
404. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේ ද එකලා ව විසීමෙහි ගුණ කියන්නේ ද වෙයි. හෙතෙමේ එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙහි. එකලා ව පෙරළා එයි. එකලා ව රහසිගත ව හිඳී. එකලා ව සක්මනට නගී.