1. ප්රථම වර්ගය
9. 1. 1.
මොග්ගල්ලාන සූත්රය
395. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට “ආර්ය්ය තුෂ්ණීම්භාවය, ආර්ය්ය තුෂ්ණිම්භාවය යි කියනු ලැබේ. කිමෙක් නම් ආර්ය්ය තුෂ්ණිම්භාවය වේ දැ”යි මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය.
ඇවැත්නි, ඒ මට “මෙහි මහණ තෙමේ විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි පැහැදීම් ඇති සිතේ උතුම් එකඟබැව් වඩන විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ද්විතීයධ්යානය උපදවා වෙසේ නම් මේ ආර්ය්ය වූ තූෂ්ණීම්භාවය ය යි කියනු ලැබේ”යි මේ සිත විය.
ඇවැත්නි, ඒ මම විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම ඇති සිතේ උතුම් එකඟ බැව් වඩන විතර්කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ද්වීතීයද්ධ්යානය උපදවා වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන මට විතර්ක සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත්. ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත වැඩ “මුගලන, මුගලන, බමුණ, ආර්ය්යතූෂ්ණීම්භාවය නො වරදව. ආර්ය්යතූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්ය්යතූෂ්ණීම්භාවයෙහි සිත නගාලව යි” මෙය වදාළ සේක.
ඇවැත්නි, ඒ මම අන් කලෙක විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබැව් වඩන විතර්කරහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ද්විතීයධ්යානය උපදවා විසීමි. ඇවැත්නි, සත්යය කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි යමකු සඳහා කියන්නෙ නම්, සත්යය කියන්නා “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි මා සඳහා කියන්නේ යි.
9. 1. 2.
සාරිපුත්ත සූත්රය
396. සැවැත්නුවර–
එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂුහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ.
ඇවැත්නි, මෙහි එකලා ව විවේකී ව හුන් මට “යම්බඳු මට විපරිණාම අන්යථාභාවයෙන් (=යමක් පෙරෙළීම වෙනස් වීම නිසා) සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව ඇද්දෝ” යි මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය.
ඇවැත්නි, ඒ මට “යම්බඳු මට විපරිණාම - අන්යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව නැතැ” යි මෙ සිත විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්යථාභාවයෙන් ඔබ වහන්සේට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු දැ”යි මෙය කීහ.
ඇවැත්නි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්යථාභාවයෙන් මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු ය. වැලිදු මට “පින්වත්නි, ඒකාන්තයෙන් මහේශාක්ය වු මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සත්වයෙක් අතුරුදන් වූයේ ය. ඉදින් භාග්යවතුන් වහන්සේ බොහෝ දිගුකලක් සිටුනා සේක් නම් එය බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය යි මෙසේ සිතෙන්නේ ය
ඒ එසේ මැයි: ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ විසින් දිගු කලෙක අභිංකාරමමිඞ්කාරමානානුසයෝ මැනවින් උපුටා හරිණ ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහ යි.
9. 1. 3.
මහානාග සූත්රය
397. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි එක වෙහෙර (=එක ම ගර්භයක) වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු වූහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මූහුණුපැහැය පිරිසිදු ය වෙසෙසින් බබලන්නේ ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ අද ඒකාන්තයෙන් ශාන්ත වූ විහරණයකින් වූසූහූ ය” යි.