7. 2. 9.
සික්ඛමානා සූත්රය
380. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සික්ඛමානාවක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්ත ය. … [ඉක්බිති භාග්යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සික්ඛමානාව කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පවිටු සික්ඛමානාවක් වූවා ය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි. වදාළ සේක.
7. 2. 10.
සාමණේර සූත්රය
381. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හෙරණකු දිටිමි. ඔහුගේ සඟළ ද ආදීප්ත ය. … ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ හෙරණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු හෙරණෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.
7. 2. 11.
සාමණේරී සූත්රය
382. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හෙරණක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. පාත්රය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. ඕතොමෝ ද බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි ඒ මට මේ අදහස විය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකි , පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මෙබඳු නම් සත්ත්වයෙක් වන්නේ ද, මෙබඳු නම් යක්ෂයෙක් වන්නේද, මෙබඳු නම් අත්බැව් පිළිලැබීමෙක් වන්නේදැ”යි. …
ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. යම් හෙයකින් ශ්රාවක තෙමේ මෙබන්දක් දන්නේ හෝ වේ ද, දක්නේ හෝ වේ ද, සාක්ෂ්ය කරන්නේ හෝ වේ ද, (එහෙයින්) මහණෙනි, ශ්රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් නුවණ ඇත්තාහු වෙසෙත්. මහණෙනි, පෙර ම මා විසින් ඒ හෙරණි දක්නා ලද්දී වූවා ය. එහෙත් මම නො පැවසීමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු මා වදන නො අදහන්නාහු ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.
මහණෙනි, මේ හෙරණ තොමෝ කසුප් සම්මාසම්බුදුන්ගේ සස්නෙහි පවිටු හෙරණක් වූවා ය ... ඕ තොමෝ ඒ කර්මයේ විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සිය ගණන් බොහෝ වස් දහස්ගණන් බොහෝ වස් සියදහස්ගණන් නිරයෙහි පැස ඒ කර්මයාගේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
දෙවෙනි වර්ගය යි.
එහි උද්දානය:
කූපයෙහි නිමග්න වූ හෙතෙමේ පාරදාරික වූයේ ය. අශුචි කන්නේ දුෂ්ටබ්රාහ්මණයෙක් වූයේ ය. සිවිය නැත්තී වේශ්යාවක් වූවා ය. පිළිකුල් කටයුත්තී යද්දැස්සක් වූවා ය. ඩහ වැගිරෙන්නී සැතිරිය මත අඟුරු විසිරිය. හිස්සුන් තැනැත්තේ චෝරඝාතකයෙක් විය. භික්ඛු භික්ඛුනී සික්ඛමානා සාමණේර සාමණේරීහු කසුප් සස්නෙහි පැවිදි ව රිසිසේ පව්කම් කළහ.
ලක්ඛණ සංයුත්තය නිමියේ ය.