7. ලක්ඛණ සංයුත්තය
1. ප්රථම වර්ගය
7. 1. 1.
අට්ඨිසඞ්ඛලික සූත්රය
362. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ද ගිජුකුළුපව්වෙහි වැඩවෙසෙති. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්ඛණ තෙරුන්ට “ඇවැත්නි, ලක්ඛණයෙනි, යමු, රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි මෙය කීහ. ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ගිජුකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද? ප්රත්ය කවරේ දැ”යි මෙය කීහ. ඇවැත්නි, ලක්ඛණයෙනි, මේ ප්රශ්නයට නො කල් ය. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්රශ්නය මා විචාරව යි.
ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහ නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: මෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ගිජිකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද, ප්රත්යය කවරේ දැ”යි?
ඇවැත්නි, මෙහි මම ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ඇටසැකිල්ලක් වූ (ප්රේතයකු දිවැසින්) දිටිමි. (යක්) ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ ඇටසැකිල්ල ලුහුබඳිමින් ඉළඇට අතරින් විදිත්. ඒ ඇටසැකිල්ල බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි, ඒ මට “භවත්නි, ආශ්චර්ය්යෙක් ම ය! භවත්නි, අද්භුතයෙක් ම ය! මෙබඳු වූත් සත්ත්වයෙක් වේ ද! මෙබඳු වූත් යක්ෂයෙක් වේ ද! මෙබඳු වූත් අත්බැව් ලැබීමෙක් වේ දැ!යි මේ අදහස විය.
එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් හෙයකින් සව්වෙක් ද මෙබන්දක් දන්නේ හෝ දක්නේ හෝ සාක්ෂ්ය කරන්නේ හෝ වේ ද, එහෙයින් උපන් (දිව) ඇස් ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, උපන් (දිව) නැණ ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, මේ සත්ත්වතෙමේ මා විසින් පෙර ම දක්නා ලද්දේ විය. එහෙත් මම නො පැවසුවෙමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු (නොදැනීමෙන්) මා වදන නො අදහන්නාහු (විය හැකි) ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයෙක් (ගෙරින් නසා ඇටෙන් මස් මුදා විකොට වැටෙන්නෙක්) විය. හෙ තෙමේ ඒ කර්මයෙහි විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සියගණන් බොහෝ වස් දහස් ගණන් බොහෝ වස් සියදහස් ගණන් නිරයෙහි පැස ඒ කර්මයාගේ ම ඉතිරි විපාකයෙන් (අට්ඨිසඞ්ඛලික පේතව) මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
(මෙය ම මතු දැක්වෙන සියලු සූත්රයන්ගේ පෙය්යාලය වේ.)
7. 1. 2.
මාංසපෙසි සූත්රය
363. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි යන මස්වැදැල්ලක් (වූ ප්රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ මස්වැදැල්ල ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඒ මස්වැදැල්ල ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම ගෙරින් මරන්නෙක් විය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 3.
මාංසපිණ්ඩ සූත්රය
364. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත් ,ඉරා කත්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි ... මහණෙනි ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 4.
නිච්ඡවි සූත්රය
365. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ(ප්රේත)යකු දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම බැටෙළුවැද්දෙක් විය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.