5. 1. 9.
වේරම්බ සූත්‍රය
305. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, මතු අහසෙහි වේරම්බ නම් වාතයෝ හමත්. එහි යම් පක්‍ෂි (වාලිහිණි)යෙක් යේ නම් ඒ මූ වේරම්බ වාතයෝ දමාපියත්. වේරම්බ වාතයෙන් දමා ලූ උගේ පාදයෝ අන් දෙසකට යෙත්. පියාපත් අන් දෙසකට යේ. හිස අන් දෙසකට යේ. කය අන්දෙසකට යේ.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නොරක්නා ලද කයින් යුතු ව ම නොරක්නා ලද වචනයෙන් යුතුව ම නොරක්නා ලද සිතින් යුතුව ම නො රක්නා ලද සිහියෙන් යුතු ව ම සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ම ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේද, හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගමක දකී ද, නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගම දැකීමෙන් ඔහුගේ සිත රාගය තෙමේ වනසයි. හෙතෙමේ රාගයෙන් වනසන ලද සිතින් සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරළෙයි. අන්නු ඔහුගේ සිවුර හැර ගණිත්. අන්නු පාත්‍රය හැර ගණිත්, අන්නු නිසීදනය හැර ගණිත්. අන්නු හිදිගුලාව හැර ගණිත්. වේරම්බ වාතයෙන් බැහැර ලූ පක්‍ෂියාගේ (අවයව) මෙනි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු යි ... උපන් ලාභ සත්කාරකීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 10.
සගාථ සූත්‍රය
306. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, මෙහි මම ලාභ සත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, මෙහි මම අසත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, මෙහි මම සත්කාරයෙන් ද, අසත්කාරයෙන් ද යන දෙකින් ම මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළසේක:
සත්කාර කරණු ලබන අප්‍රමාණ සමාධිවිහරණ ඇති යමකුගේ සමාධිය අසත්කාරයෙන් ද සත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ ද,
ධ්‍යාන කරණසුලු සතතක්‍රියා ඇති සූක්‍ෂම දෘෂ්ටි හා විදර්‍ශනා ඇති උපාදානක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි ඇලුනු ඔහුට සත්පුරුෂයා යි කියති යි.
දාරුණවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
දාරුණ, බළිස, කුම්ම, දීඝලෝමි, මීළ්හක, අසනි, දිද්ධ, සිඟාල, වේරම්බ, සගාථක යි සූත්‍ර දශයෙකි යි.