1. දාරුණ වර්ගය
5. 1. 1.
දාරුණ සූත්රය
297. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්වාවබෝධය පිණිස අන්තරාය කර ය. එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා බැහැර කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂයකොට ගෙන නොම සිටිනේ” ය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 1. 2.
බළිස සූත්රය
298. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, යම් සේ බිළී වැද්දෙක් ඇමින් යුත් බිළිය ගැඹුරු දිය විලෙක බහන්නේ ද, ඇමෙහි ලූ ඇස් ඇති එක්තරා මසෙක් එය ගිලින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මසු තෙමේ බිළිය ගිලගත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ බිළීවැදි විසින් කැමති සේ කටයුත්තෙක් වන්නේ ය. මහණෙනි, “බිළීවැද්දා” යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, “බිළිය” යනු ලාභසත්කාර කීර්තිප්රශංසාවනට මේ නමෙකි.
මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළී ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාවබෝධය පිණිස අන්තරාය කර ය, මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්තිප්රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂය කොට නොම සිටිනේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 1. 3.
කුම්ම සූත්රය
299. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය. ...
මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා දියවිලෙක මහ කැසුප් කුලක් දිගුකලක් වුසුයේ විය. මහණෙනි, එකල්හි එක්තරා කැසුබුවෙක් අනෙක් කැසුබුවකුට “පුත, කැස්බ, තෝ මේ පෙදෙසට නො යා”යි මෙය කී ය. ඒ කැසුබු ඒ පෙදෙසට ගියේ ය. උහුට වැද්දෙක් යොත් බන් යකටුවකින් විද්දේ ය. මහණෙනි, එකල්හි ඒ කැසුබු ඒ කැසුබුවා වෙත එළඹියේ ය. මහණෙනි, ඒ කැසුබු තෙමේ එන්නා වූ ඒ කැසුබුවා දුර දී ම දැක්කේ ය. දැක ඒ කැසුබුවාට මෙය කී ය. පුත, කැස්බ, කිම? තෝ ඒ පෙදෙසට නො ගියෙහි ද? පියේ, කැස්බ, මම ඒ පෙදෙසට ගියෙමි යි. පුත, කැස්බ, කිම? අක්ෂත (නුබුන් සිරුරු ඇති) යෙහි ද? අනුපහත (නොනැසුනේ) වෙහිද? පියේ කැස්බ, අක්ෂතයෙමි, අනුපහතයෙමි. එහෙත් මා පසුපස ලුහුබැඳි මේ හුයෙක් ඇතැයි.
පුත, කැස්බ, ඒකාන්තයෙන් ක්ෂත වූයේ උපහත වෙහි. පුත, කැස්බ, මේ හුයෙන් තාගේ පියහු ද මුත්හු ද දුකට පැමිණියහ. විපතට පැමිණියහ. පුත, කැස්බ, දැන් තෝ යව. දැන් තෝ අපගේ නො වෙහි යි.
මහණෙනි, ‘වැද්දා’ යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, ‘යකටු’ යනු ලාබ සත්කාර කීර්ති ප්රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ‘හුය’ යනු තෘෂ්ණාවට මේ නමෙකි. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිජු වූයේ යකටුවෙන් දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා බැහැරලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 4.
දීඝලෝමි ඵලක සූත්රය
300. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය. ...
මහණෙනි, යම් සේ දික් ලොම් ඇති එළුදෙනක් කටුලැහැබකට පිවිසියා ද, ඕ ඒ ඒ තන්හි ඇලෙන්නී ය. ඒ ඒ තන්හි ගැණෙන්නී ය, ඒ ඒ තන්හි බැඳෙන්නී ය. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙන්නී ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්රශංසායෙන් මඬනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසේ ද, හෙතෙමේ ඒ ඒ තන්හි ඇලෙයි, ඒ ඒ තන්හි ගැණෙයි, ඒ ඒ තන්හි බැඳෙයි. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්තිප්රශංසා බැහැර ලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.