4. 1. 9.
ඣානාභිඤ්ඤ සූත්‍රය
292. සැවැත්නුවර–
මහණෙනි, මම යම්තාක් කල් කැමති වන්නෙම් නම් (ඒ තාක්) කාමයන් ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම්තාක් කල් කැමති වන්නේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමහේතුවෙන් ස්වසන්තානයෙහි උපන් පැහැදීම ඇති, සිත්හුගේ එකලාව උපදනා උතුම් සමාධිය වඩන, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් ඒ තාක් විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශම හේතුවෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තෙම් ද සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද වෙසෙමි. සුව ද කයින් විඳිමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ තෘතීයධ්‍යාන සමන්‍විත පුද්ගලයා ‘උපේක්‍ෂකය, සිහි ඇත්තේ ය, සුඛවිහාර ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්‍වයෙහිම සොම්නස් දොම්නස් අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂායෙන් හටගත් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්මසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කල් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමයෙන් ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ” යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි.