4. 1. 4.
කුලූපක සූත්‍රය
287. සැවැත්නුවර–
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි දැ යි? වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … “භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂුහු දරන්නාහුය” … භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ස්වල්පයක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා. ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වා” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. ඒ හේතු කොට ගෙණ හෙතෙමේ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ටිකක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි ය.
මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ටිකක් නො දෙත්වා, මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වායි-මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් කරා එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් කරා එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මඳක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ය.
මහණෙනි, කාශ්‍යප තෙමේ “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, මදක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා, මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා, මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වාය” යි මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹෙයි.
මහණෙනි, මේ බඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ කසුප්හට ඉදින් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙන දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මදක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් සල් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි.
මහණෙනි, කාශ්‍යපයන් හා සමාන වන්නට හෝ යමෙක් කසුප් බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ තොප විසින් ද ඒ පිණිස පිළිපැදිය යුතු යි.
4. 1. 5.
ජිණ්ණ සූත්‍රය
288. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලඥක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් මහකසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කාශ්‍යප, දැන් තෙපි මහලු වහු. හණපිලියෙන් කළ (භාග්‍යවතුන් විසින් පළමු පොරොවා හළ බැවින්) නිබ්බසන වූ (නැවත නැවත කළ ගෙත්තම් ඇති) මේ පවුල් සිවුරු (දැරීම) තොපට බර ය. කස්සප, එහෙයින් දැන් තෙපි (පාංශුකූලිකාඞ්ගාදිය හැර) ගැහැවි සිවුරු ද දරවු. ලහබත් ආදි නිමන්ත්‍රණයන්හි ද වළඳවු, මා ලඟ ද වෙසෙවු.
වහන්ස, මම දිගුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ බණනුයේ ද, පිණ්ඩපාතික ද, පිණ්ඩපාතික බැව්හි ගුණකියනුයේ ද, පාංසුකූලික ද, පාංසුකූලික බැව්හි ගුණ කියනුයේ ද, තෙචීවරික ද,තෙචීවරික බැව්හි ගුණ කියනුයේ ද, අල්පෙච්ඡ ද, අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුයේ ද, සන්තුෂ්ට ද, සන්තුෂ්ට බැව්හි ගුණ කියනුයේ ද, ප්‍රවිවික්ත ද, ප්‍රවිවේකයෙහි ගුණ කියනුයේ ද, අසංසෘෂ්ට ද, අසංසර්‍ගයෙහි ගුණ කියනුයේ ද, ආරබ්ධවීර්‍ය්‍යය ද, වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.
කාශ්‍යප, තෙපි කිනම් ප්‍රයෝජනයක් දක්නහු දිඟුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද? පිණ්ඩපාතික ද ... පංසුකූලික ද ... තෙචීවරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද … අසංසෘෂ්ට ද … ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ දැ යි?