2. 2. 6.
සගාථා සූත්‍රය
240. සැවැත්නුවර–
මහණෙනි, අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳෙති, එකතු වෙති: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කාලයෙහි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
මහණෙනි, යම් සේ මල මල සමග සැසැඳේ ද, එකතු වේ ද; මූත්‍ර මූත්‍ර සමග සැසැඳේ ද, එකතු වේ ද; කෙල කෙල සමග සැසැඳේ ද, එකතු වේ ද; පූයාව පූයාව සමග සැසැඳේ ද, එකතු වේ ද; ලේ ලේ සමග සැසැඳේ ද, එකතු වේ ද; මහණෙනි, එසෙයින් ම සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති, … මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කාලයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
මහණෙනි, යම් සේ කිරි කිරි සමග සැසැඳේ ද, එකතු වේ ද, තෙල් තෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද; ගිතෙල් ගිතෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද, මී මී සමග සැසැඳේ ද; එකතු වේ ද, පැණි පැණි සමග සැසැඳේ ද, එකතු වේ ද, මහණෙනි, එසෙයින් ම සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු දු මෙය වදාළ සේක:
ඇල්මෙන් කෙලෙස්වනය හටගත්තේ ය, නො ඇල්මෙන් සිඳෙයි. කුඩා දරකඩකට නැගී (සිටියහු) මහමුහුදෙහි යම් සේ කිඳෙන්නේ ද,
එසෙයින් ම පිරිසුදු දිවි ඇත්තේ ද මැලි පිඟුලා වෙත පැමිණ කිඳෙයි. (පිරිහෙයි) එහෙයින් වීර්‍ය්‍ය නැති ඒ මැලි පුඟුලා දුරු කරන්නේ ය.
ප්‍රකර්‍ෂ විවේක ඇති ආර්‍ය්‍ය වූ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති පටන් ගත වීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරණසුලු පණ්ඩිතයන් සමග නිරතුරු එක් ව වෙසෙන්නේ යි.
2. 2. 7.
අස්සද්ධ සූත්‍රය
241. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.