2. සත්තධාතු වර්‍ගය
2. 2. 1.
සත්තධාතු සූත්‍රය
235. සැවැත්නුවර–
මහණෙනි, මේ ධාතූහු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්: ආලෝකධාතු ය, සුභධාතු ය, ආකාසානඤ්චායතනධාතු ය, විඤ්ඤාණඤ්චායතනධාතු ය, ආකිඤ්චඤ්ඤායතනධාතු ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු ය, සඤ්ඤාවේදයිතනිරෝධ ධාතු යි. මහණෙනි, මොහු සප්තධාතූහු වෙති යි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවේදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කුමක් නිසා පැණෙද්ද?
මහණ, යම් මේ ආලෝකධාතුවක් වේ ද, මේ ධාතුව අඳුර නිසා පැණේ. මහණ, යම් මේ සුභධාතුවක් වේ ද, මේ ධාතුව අසුභය නිසා පැණේ. මහණ, යම් මේ ආකාසානඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව රූපය නිසා පැණේ. මහණ, යම් මේ විඤ්ඤාණඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකාසානඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ ආකිඤ්චඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව විඤ්ඤාණඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකිඤ්චඤ්ඤායතනය නිසා පැණේ. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව (නාමස්කන්‍ධ) නිරෝධය නිසා පැණේ යි.
වහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවෙදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කෙබඳු පමාපත්ති නම් ව පැමිණිය යුත්තෝ වෙද්ද?
මහණ, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතූහු සංඥාසමාපත්ති නම් ව පැමිණිය යුත්තා හ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතුව සංස්කාරාවශේෂසමාපත්ති නම් ව පැමිණිය යුත්තී ය. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව නිරෝධසමාපත්ති නම් ව පැමිණිය යුත්තී යි.
2. 2. 2.
සනිදාන සූත්‍රය
236. සැවැත්නුවර–
මහණෙනි, කාමවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. ව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. විහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.
මහණෙනි, කෙසේ නම් කාමවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, ව්‍යාපාදවිතර්‍කය ප්‍රරත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, විහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද?
මහණෙනි, කාමධාතුව නිසා කාමසංඥාව උපදී. කාමසංඥාව නිසා කාමසඞ්කල්පය උපදී. කාමසඞ්කල්පය නිසා කාමච්ඡන්‍දය උපදී. කාමච්ඡන්‍දය නිසා කාමපරිදාහය උපදී. කාමපරිදාහය නිසා කාමපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, කාමපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
මහණෙනි, ව්‍යාපාදධාතුව නිසා ව්‍යාපාදසංඥාව උපදී. ව්‍යාපාදසංඥාව නිසා ව්‍යාපාදසඞ්කල්පය උපදී. ව්‍යාපාදසඞ්කල්පය නිසා ව්‍යාපාදච්ඡන්‍දය උපදී. ව්‍යාපාදච්ඡන්‍දය නිසා ව්‍යාපාදපරිදාහය උපදී. ව්‍යාපාදපරිදාහය නිසා ව්‍යාපාදපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, ව්‍යාපාදපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
මහණෙනි, විහිංසාධාතුව නිසා විහිංසා සංඥාව උපදී … විහිංසාසංකල්පය … විහිංසාඡන්‍දය … විහිංසාපරිදාහය … විහිංසාපර්‍ය්‍යෙෂණාව ... මහණෙනි, විහිංසාපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් අවිලගත් තණ හුළක් වියලි තණලැහැබෙක හෙලන්නේ ද, ඉදින් අතින් පයින් වහා නො නිවන්නේ නම් මහණෙනි, මෙසේ තණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් ද, ඔහු විනාශයට පැමිණෙන්නාහු ය.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ උපන්නා වූ විෂම බවට පැමිණි අකුශල සංඥාව වහා ම දුරු නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, අවසන් නො කෙරේ ද, අනුක්‍රමයෙන් නො ඉපැද්මට නො පමුණුවා ද, හෙතෙමේ මේ අත්බැව්හිත් පීඩා සහිත ව උපායාස සහිත ව පරිදාහ සහිත ව දුකසේ වෙසෙයි. කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු යි.
මහණෙනි, නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අවිහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.