2. 2. 12.
කුසීතමූලකතිකෙක සූත්‍රය
246. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්. එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැතවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග ... පැණැතියෝ පැණැත්තවුන් සමඟ සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … කුසීතයෝ … සිහි නැතියෝ … නුවණ නැතියෝ … පිරිපුන් වැර ඇතියෝ … සිහි ඇතියෝ … පණැතියෝ පණැත්තන් සමග සැසැඳෙති, එකතු වෙති.
සත්තධාතු වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
සත්තධාතු, සනිදාන සූත්‍ර සහ ගිඤ්ජකාවසථ, හීනාධිමුත්ති, වඞ්කම, සගාථ සූත්‍ර ද, සත්වැනි අස්සධ සූත්‍රය ද, අස්සද්ධමූලකතික පස ද, අහිරිකමූලකතික සතර ද, අනොත්තාපමූලකතික තුණ ද, අප්පස්සුතමූලකතික දෙක ද, කුසීතමුලකතික එක ද යන තික දැක්වෙන සූත්‍ර පස දැ යි මෙසේ සූත්‍රාන්ත (දොළොසෙක්) ද, තික පසළොසෙක් ද වදාරණ ලදි.
3. කම්මපථ වර්‍ගය
2. 3. 1.
අසමාහිත සූත්‍රය
247. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අසමාහිත (උපචාර-අපර්‍ණා සමාධි රහිත)යෝ අසමාහිතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සමාහිතයෝ සමාහිතයන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 2.
දුස්සීල සූත්‍රය
248. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … දුස්සීලයෝ දුස්සසීලයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සිල්වත්තු සිල්වතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 3.
පඤ්චසික්ඛාපද සූත්‍රය
249. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවෝ අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවන් සමග … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවන් සමග … මුසවා බිණුමෙන් වෙන් වූවෝ මුසවා බිණුමෙන් වෙන් වූවන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවන් සමග සැසැඳෙති, එකතු වෙතී යි.