1. 7. 9.
උපයන්ති සූත්රය
69. සැවැත්නුවර–
මහණෙනි, මහමුහුද ගලන්නේ මහාගඞ්ගාවන් පුරවයි. මහාගඞ්ගා ගලන්නාහු කුඩා ගඞ්ගාවන් පුරවත්. කුඩා ගඞ්ගා ගලන්නාහු මහහෙප් පුරවත්. මහහෙප් ගලන්නාහු කුඩා හෙප් පුරවත්. මහණෙනි, එසෙයින් ම අවිද්යාව වැඩෙන්නී සංස්කාර වඩයි. සංස්කාරයෝ වැඩෙන්නාහු විඤ්ඤාණය වඩත්. විඤ්ඤාණය වැඩෙන්නේ නාමරූප වඩයි. නාමරූප වැඩෙන්නේ සළායතන වඩයි. සළායතන වැඩෙන්නේ ඵස්සය වඩයි. ඵස්සය වැඩෙන්නේ වේදනාව වඩයි. වේදනාව වැඩෙන්නී තණ්හාව වඩයි. තණ්හාව වැඩෙන්නී උපාදාන වඩයි. උපාදාන වැඩෙන්නේ භවය වඩයි. භවය වැඩෙන්නේ ජාතිය වඩයි. ජාතිය වැඩෙන්නී ජරාමරණ වඩයි.
මහණෙනි, මහමුහුද බැස යන්නේ මහාගඞ්ගා බස්වයි. මහාගඞ්ගා බැස යන්නාහු කුඩා ගඞ්ගා බස්වත්. කුඩා ගඞ්ගා බැස යන්නාහු මහහෙබ් බස්වත්. මහහෙබ් බැස යන්නාහු කුඩා හෙබ් බස්වත්. මහණෙනි, එසෙයින් ම අවිද්යාව පහ ව යන්නී සංස්කාර පහ කෙරෙයි. සංස්කාරයෝ පහ ව යන්නාහු විඥානය පහ කෙරෙත්. විඥානය පහ ව යන්නේ නාමරූප පහ කෙරෙයි. නාමරූප පහ ව යන්නේ ෂඩායතන පහ කෙරෙයි. ෂඩායතන පහ ව යන්නේ ස්පර්ශය පහ කෙරෙයි. ස්පර්ශය පහ ව යන්නේ වේදනාව පහ කෙරෙයි. වේදනාව පහ ව යන්නී තෘෂ්ණාව පහ කෙරෙයි. තෘෂ්ණාව පහ ව යන්නී උපාදාන පහ කෙරෙයි. උපාදාන පහ ව යන්නේ භවය පහ කෙරෙයි. භවය පහ ව යන්නේ ජාතිය පහ කෙරෙයි. ජාතිය පහ ව යන්නී ජරාමරණ පහ කෙරේ යි.
1. 7. 10.
සුසීම සූත්රය
70. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ සත්කාර කරණ ලද සේක් ගරුකාර කරණ ලද සේක් බුහුමන් කරණ ලද සේක් පුදන ලද සේක් යටත් පහත් පැවතුම් දක්වන ලද සේක් සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු සේක් වෙති. බික්සඟන ද සත්කාර කරණ ලද්දේ ගරුකාර කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන කරණ ලද්දේ යටත් පහත් පැවතුම් දක්වන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. අන්තොටු පිරිවැජියෝ වනාහි සත්කාර නො කරණ ලද්දාහු ගරුකාර නො කරණ ලද්දාහු බුහුමන් නො කරණ ලද්දාහු නො පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් නො දක්වන ලද්දාහු සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නෝ වෙති.
එකල්හි සුසීම පිරිවැජි තෙමේ මහත් පිරිස සමග රජගහනුවර වෙසෙයි. ඉක්බිති සුසීම පිරිවැජ්ජාගේ පිරිස සුසීම පිරිවැජ්ජාට මෙසේ කීහ: ඇවැත්නි, සුසිමයෙනි, එනු මැනව, ඔබ මහණ ගොයුම් කෙරෙහි බඹසර හැසිරෙණු මැනව. ඔබ දහම් පිරිවහා අපට කියවනු මැනව. අපි ඒ දහම පිරිවහා ගිහියනට කියන්නෙමු. මෙසේ අපි දු සත්කාර කරණ ලද්දමෝ ගරුකාර කරණ ලද්දමෝ බුහුමන් කරණ ලද්දමෝ පුදන ලද්දමෝ යටත් පහත් පැවතුම් දක්වන ලද්දමෝ සිවුරු පිඬු සෙනසුන් බෙහෙත් පිරිකර ලබන සුල්ලමෝ වන්නෙමු යි. ඇවැත්නි, එසේ ය යි සුසීම පිරිවැජි තෙමේ සිය පිරිසට පිළිතුරු දී ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුසීම පිරිවැජි තෙමේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට “ඇවැත්නි, ආනන්දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි” යි මෙය කී ය.
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සුසීම පිරිවැජ්ජා කැඳවා ගෙන භාග්යවතුන් වහන්සේ වෙත එළඹුනහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට “වහන්ස, මේ සුසීම පිරිවැජි තෙමේ ඇවැත්නි, ආනන්දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි යි මෙසේ කියා”යි මෙය සැළකළහ. ආනන්ද, එසේ නම් සුසීම පැවිදි කරවු යි. සුසීම පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලදී. උපසපුව ලදී.
එකල්හි බොහෝ භික්ෂූන් විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දන්මහ”යි අර්හත්වය ප්රකාශ කරණ ලද්දේ වෙයි. ආයුෂ්මත් සුසීම තෙමේ බොහෝ භික්ෂූන් විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්හත්වය ප්රකාශ කරණ ලද්දේ ය යි ඇසී ය.