1. අභිසමය සංයුත්තය
1. බුද්ධ වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
පටිච්චසමුප්පාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. දේශනා කරමි. ‘එසේ ය, වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් (නාමය ද, රූපය ද,) නාමරූපය ද වේ. නාමරූපප්‍රත්‍යයයෙන් (ෂ ෂ්ඨායතනයද) ෂඩායතනය ද වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුඃඛස්කන්‍ධයාගේ උත්පත්තිය වේ. මහණෙනි, මේ (ප්‍රත්‍යයාකාරය) පටිච්චසමුප්පාද ය යයි කියනු ලැබේ.
අවිද්‍යාවේ ම අශේෂවිරාග (අනුශය සමුදඝාත) නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භාවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
1. 1. 2.
විභඞ්ග සූත්‍රය
2. සැවැත්නුවර–
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. බෙදා දක්වමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. කියමි. “එසේ ය වහන්සැ”යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, ජරාමරණ කවරේ ද? ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙහෙ පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ.
මහණෙනි, මරණය කවරේ ද? ඒ ඒ සත්ත්‍වනිකායයෙන් ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් කාලක්‍රියාවෙක් (සම්මුතිමරණයෙක්) ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය, මහණෙනි, ජරාමරණ ය යි කියනු ලැබේ.
මහණෙනි, ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළිලැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාති ය යි කියනු ලැබේ.
මහණෙනි, භවය කවරේ ද? මහණෙනි, කාමභවය, රූපභවය, අරූපභවය යි මේ භව තුණෙකි. මහණෙනි, මේ භව ය යි කියනු ලැබේ.