1. 7. 10.
සුසීම සූත්රය
70. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ සත්කාර කරණ ලද සේක් ගරුකාර කරණ ලද සේක් බුහුමන් කරණ ලද සේක් පුදන ලද සේක් යටත් පහත් පැවතුම් දක්වන ලද සේක් සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු සේක් වෙති. බික්සඟන ද සත්කාර කරණ ලද්දේ ගරුකාර කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන කරණ ලද්දේ යටත් පහත් පැවතුම් දක්වන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. අන්තොටු පිරිවැජියෝ වනාහි සත්කාර නො කරණ ලද්දාහු ගරුකාර නො කරණ ලද්දාහු බුහුමන් නො කරණ ලද්දාහු නො පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් නො දක්වන ලද්දාහු සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නෝ වෙති.
එකල්හි සුසීම පිරිවැජි තෙමේ මහත් පිරිස සමග රජගහනුවර වෙසෙයි. ඉක්බිති සුසීම පිරිවැජ්ජාගේ පිරිස සුසීම පිරිවැජ්ජාට මෙසේ කීහ: ඇවැත්නි, සුසිමයෙනි, එනු මැනව, ඔබ මහණ ගොයුම් කෙරෙහි බඹසර හැසිරෙණු මැනව. ඔබ දහම් පිරිවහා අපට කියවනු මැනව. අපි ඒ දහම පිරිවහා ගිහියනට කියන්නෙමු. මෙසේ අපි දු සත්කාර කරණ ලද්දමෝ ගරුකාර කරණ ලද්දමෝ බුහුමන් කරණ ලද්දමෝ පුදන ලද්දමෝ යටත් පහත් පැවතුම් දක්වන ලද්දමෝ සිවුරු පිඬු සෙනසුන් බෙහෙත් පිරිකර ලබන සුල්ලමෝ වන්නෙමු යි. ඇවැත්නි, එසේ ය යි සුසීම පිරිවැජි තෙමේ සිය පිරිසට පිළිතුරු දී ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුසීම පිරිවැජි තෙමේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට “ඇවැත්නි, ආනන්දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි” යි මෙය කී ය.
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සුසීම පිරිවැජ්ජා කැඳවා ගෙන භාග්යවතුන් වහන්සේ වෙත එළඹුනහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට “වහන්ස, මේ සුසීම පිරිවැජි තෙමේ ඇවැත්නි, ආනන්දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි යි මෙසේ කියා”යි මෙය සැළකළහ. ආනන්ද, එසේ නම් සුසීම පැවිදි කරවු යි. සුසීම පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලදී. උපසපුව ලදී.
එකල්හි බොහෝ භික්ෂූන් විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දන්මහ”යි අර්හත්වය ප්රකාශ කරණ ලද්දේ වෙයි. ආයුෂ්මත් සුසීම තෙමේ බොහෝ භික්ෂූන් විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්හත්වය ප්රකාශ කරණ ලද්දේ ය යි ඇසී ය.
ඉක්බිති ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්ෂුන්ට ආයුෂ්මතුන් විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්හත්වය ප්රකාශ කරණ ලද්දේ සැබෑ දැයි මෙය කී ය. ඇවැත්නි ,එසේ ය යි.
ආයුෂ්මත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ තෙපි නන්වැදෑරුම් ඍද්ධි කොටස් විඳිවු ද? (කෙසේ ද යත්:) එකෙක් වීත් බොහෝ අයුරු වවු ද, බොහෝ අයුරු වීත් එකෙක් වවු ද, පැණෙන බවත් නො පැණෙන බවත් කරවු ද, අහසෙහි මෙන් බිතු සරස පවුරු සරස නො ගැටෙමින් යවු ද, දියෙහි මෙන් පොළොවෙහිත් කිමිදීම් මතුවීම් කරවු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යවු ද, පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිත් පළඟින් හැසිරෙවු ද, මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පරාමර්ශන කරවු ද, පිරිමදි වු ද, බඹලොව තෙක් කයින් වශයෙහි පවත්වවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
ආයුෂ්මත්නි, මෙසේ දන්නා මෙසේ දක්නා තෙපි පිරිසුදු වූ මිනිස් බැව් ඉක්ම පැවති දිව්යමය වූ ශ්රෝත්ර ධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුර වූත් ලඟ වූත් දෙවැදෑරුම් ශබ්ද අසවු දැයි? ඇවැත්නි, මේ නො වේ ම ය.
ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු තම සිතින් අන් සතුන්ගේ අන්පුඟුලන් සිත පිරිසිඳ දනිවු ද? (කෙසේ ද යත්:) සරාග සිතත් සරාග සිත ය යි දනිවු ද, වීතරාග සිතත් වීතරාග සිත ය යි දනිවු ද, සදෝස සිතත් සදෝස සිත ය යි දනිවු ද, වීතදෝස සිතත් වීතදෝස සිත ය යි දනිවු ද, සමෝග සිතත් සමෝග සිත ය යි දනිවු ද, වීතමෝහ සිතත් වීතමෝහ සිත ය යි දනිවු ද, සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිත ය යි දනිවු ද, වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිත ය යි දනිවු ද, මහග්ගත සිතත් මහග්ගත සිත ය යි දනිවු ද, අමහග්ගත සිතත් අමහග්ගත සිත ය යි දනිවු ද, සඋත්තර සිතත් සඋත්තර සිත ය යි දනිවු ද, අනුත්තර සිතත් අනුත්තර සිත ය යි දනිවු ද, සමාහිත සිතත් සමාහිත සිත ය යි දනිවු ද, අසමාහිත සිතත් අසමාහිත සිත ය යි දනිවු ද, විමුත්ත සිතත් විමුත්ත සිත ය යි දනිවු ද, අවිමුත්ත සිතත් අවිමුත්ත සිත ය යි දනිවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ ම ය.