1. 7. 8.
කෝසම්බි සූත්‍රය
68. එක්කලෙක ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ද ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ද ආයුෂ්මත් නාරද තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද කොසඹෑනුවර සමීපයෙහි ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති.
එකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ආයුෂ්මත් මූසිල තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, පරම්පරාකථායෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි ප්‍රත්‍යවේක්‍ෂාවෙන් තමා කෙරෙහි ම වූ දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි. මම මෙය දකිමි.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි ... තණ්හා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි ... ඵස්ස ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... සළායතන ප්‍රත්‍යයයෙන් ඵස්ස වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ ය යි ... විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සඞ්ඛාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සඞ්ඛාර වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම ... දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි ... වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ ය යි ... ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ය යි ... විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සඞ්ඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය යි ... අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිවන ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිල තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිර්‍වාණය ය යි මෙය මම දනිමි, මෙය මම දකිමි. එසේ නම් ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ක්‍ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් මූසිල තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.