1. 7. 6.
සම්මසන සූත්‍රය
66. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු දනව්වෙහි කල්මාසදම්‍ය නම් කුරුන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වත් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, තෙපි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කරන්නහු දැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙමි”යි මෙය සැළ කළේ ය. මහණ, තෙපි ඒ කෙසේ නම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කරවු දැ යි. එකල්හි ඒ මහණ තෙමේ ප්‍රකාශ කෙළේ ය. යම් සේ ඒ මහණ පැවසී ද, ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු නො කෙළේ ය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “භාග්‍යවතුන් වහන්සේ යම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනයක් වදාරණ සේක් නම්: භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය යි. සුගතයන් වහන්ස, මේ ඊට කාලය යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ”යි. ආනන්‍ද, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මෙහි මහණ තෙමේ සම්මර්‍ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක උපධි නිදාන කොට ඇත්තේ ය. උපධි සමුදය කොට ඇත්තේ ය. උපධි ජාති කොට ඇත්තේ ය. උපධි ප්‍රභව කොට ඇත්තේ ය. උපධි ඇති කල්හි ජරාමරණ වෙයි. උපධි නැති කල්හි ජරාමරණ නො වේ ය යි, මෙසේ දැන ගනී. හෙතෙමේ ජරාමරණත් දැන ගනී. ජරාමරණ සමුදයත් දැන ගනී. ජරාමරණ නිරෝධයත් දැන ගනී. ජරාමරණ නිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම අනුව හැසිරෙන සුලු වූයේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
යලි මතු ද සම්මර්‍ශනය කරන්නේ මේ උපධිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදයය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි උපධි වේ ද කුමක් නැති කල්හි උපධි නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ ‘උපධිය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ ය. තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ ය. තෘෂ්ණාව ජාති කොට ඇත්තේ ය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ ය. තෘෂ්ණාව ඇති කල්හි උපධි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපධි නො වේ’ යයි මෙසේ දැන ගනී. හෙතෙමේ උපධියත් දැන ගනී. උපධි සමුදයත් දැන ගනී. උපධි නිරෝධයත් දැන ගනී. උපධි නිරෝධයට සරුප් ව යනසුලු යම් පිළිවෙතක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම් අනුව හැසිරෙන්නේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස උපධි නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
යලි මතු ද සම්මර්‍ශනය කරන්නේ මේ තෘෂ්ණාව කොහි උපදනේ උපදී ද, කොහි පවත්නේ පවතී දැ යි, අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ ‘ලොව පියසැහැවි ඇති මිහිරිසැහැවි ඇති යම් කිසිවෙක් වේ ද, මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පුනපුනා පැවතුම් විසින් පිහිටනුයේ පිහිටයි. ලොව කිමෙක් පියසැහැවි ඇත්තේ ද, මිහිරිසැහැවි ඇත්තේ ද? ලොව ඇස පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.