1. 6. 6.
දුතිය මහාරුක්ඛ සූත්‍රය
56. සැවැත්නුවර–
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.
මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා මුල් උදුරන්නේ ය ... සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ මුදුන සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පත් කරණ ලද්දේ මතු නො හටගන්නා ස්වභාව ඇත්තේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි දෝෂ දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 7.
තරුණරුක්ඛ සූත්‍රය
57. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, පුරුෂයෙක් කලින් කල එහි මුල් සුද්ධ කරන්නේ ද, කලින් කල පස් පොහොර දෙන්නේ ද, කලින් කල ජලය දෙන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තරුණ රුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ වැඩීමට හටගත් මුල් ඇති බවට මහත් බවට පැමිණෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දක්නා සුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවු සුළඟෙහි වියලන්නේ ය. අවු සුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ තරුණ රුක උසුන්මුල් ඇත්තේ හිස්සුන් තල්රුකක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.