1. 6. 7.
තරුණරුක්ඛ සූත්රය
57. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, පුරුෂයෙක් කලින් කල එහි මුල් සුද්ධ කරන්නේ ද, කලින් කල පස් පොහොර දෙන්නේ ද, කලින් කල ජලය දෙන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තරුණ රුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ වැඩීමට හටගත් මුල් ඇති බවට මහත් බවට පැමිණෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි ආදීනවය නැවත නැවත දක්නා සුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවු සුළඟෙහි වියලන්නේ ය. අවු සුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ තරුණ රුක උසුන්මුල් ඇත්තේ හිස්සුන් තල්රුකක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි ආදීනවය නැවත නැවත දක්නාසුලු ව වසන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 8.
නාමරූප සූත්රය
58. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.
මහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළ වීම වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළවීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි උදැල්ලක් හා පැසක් ගෙණ පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 9.
විඤ්ඤාණ සූත්රය
59. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම වේ. විඤ්ඤාණ ප්රත්යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහ රුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, ... [බොහෝ දිගුකලක් සිටුනේ ය].
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම වේ. විඤ්ඤාණ ප්රත්යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.