1. 5. 6.
අඤ්ඤතරබ්‍රාහ්මණ සූත්‍රය
46. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේ ය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, කිමෙක් ද, හෙ තෙමේ කෙරේ ද, හෙ තෙමේ විඳී ද? බමුණ,“හෙ තෙමේ කෙරෙයි. හෙ තෙමේ විඳී” යනු මේ එක් අන්තයෙකි. (=කෙළවරෙකි.)
භවත් ගෞතමයෙනි, කිමෙක් ද අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳී ද? බමුණ, “අනෙකෙක් කෙරෙයි. අනෙකෙක් විඳී” යනු දෙවන අන්ත යයි.
බමුණ, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේනිරෝධය වේ” යයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මෙසේ වදාළ කල්හි ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි ඉතා මැනව. ... භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කළේ ය.
1. 5. 7.
ජාණුස්සෝණි සූත්‍රය
47. සැවැත්නුවර–
එකල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වන්සේ සමග සතුටු වි ය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
භවත් ගෞතමයෙනි, කිම සියල්න ඇත්තේ ද? බමුණ, “සියල්ල ඇත්තේ ය” යනු මේ එක් අනන්තයෙකි.
භවත් ගෞතමයෙනි, කිම සියල්ල නැත්තේ ද? බමුණ, “සියල්ල නැත්තේ ය” යනු මේ දෙවන අන්ත ය යි.
බමුණ, ඒ මේ (ශාශ්වත - උචේඡද) අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයේ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව, ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කෙළේ ය.
1. 5. 8.
ලෝකායතික සූත්‍රය
48. සැවැත්නුවර–
ඉක්බිති ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය . ... එකත්පසෙක හුන් ලෝකායතික (විතණ්ඩවාදයෙහි පුහුණු වූ) බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: