1. 5. 7.
ජාණුස්සෝණි සූත්‍රය
47. සැවැත්නුවර–
එකල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වන්සේ සමග සතුටු වි ය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
භවත් ගෞතමයෙනි, කිම සියල්න ඇත්තේ ද? බමුණ, “සියල්ල ඇත්තේ ය” යනු මේ එක් අනන්තයෙකි.
භවත් ගෞතමයෙනි, කිම සියල්ල නැත්තේ ද? බමුණ, “සියල්ල නැත්තේ ය” යනු මේ දෙවන අන්ත ය යි.
බමුණ, ඒ මේ (ශාශ්වත - උචේඡද) අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයේ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව, ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කෙළේ ය.
1. 5. 8.
ලෝකායතික සූත්‍රය
48. සැවැත්නුවර–
ඉක්බිති ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය . ... එකත්පසෙක හුන් ලෝකායතික (විතණ්ඩවාදයෙහි පුහුණු වූ) බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඇත්තේ ද? බමුණ,‘සියල්ල ඇත්තේ ය’ යන මෙය පළමුවන ලෝකායත ය යි.
භවත් ගෞතමයෙනි, සියල්ල නැත්තේ ද? බමුණ, ‘සියල්ල නැත්තේ ය’ යන මෙය දෙවැනි ලෝකායත ය යි.
භවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඒකස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල ඒකස්වභාව ඇත්තේ ය’ යන මෙය තෙවැනි ලෝකායත ය යි.
භවත් ගෞතමයෙනි, කිම, සියල්ල නානාස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල නානාස්වභාව ඇත්තේ ය’ යන මෙය සිවුවැනි ලෝකායත ය යි.
බමුණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ, තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
මෙසේ වදාළ කල්හි ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව. ... මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි මෙය සැළ කළේ ය.
1. 5. 9.
පඨම අරියසාවක සූත්‍රය
49. සැවැත්නුවර–
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මේ වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. ... ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත (අනුන්ගේ පිහිටක් නැතිව) ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් උපදී” ය යි මෙසේ දැනගනී.