1. 5. 2.
දෙවැනි පඤ්චභයවේර සූත්‍රය
42. සැවැත්නුවර–
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස් වැදැරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, ඔහු විසින් නිර්දෝෂ වූ න්‍යායය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම්. විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
කවර පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද යත්:
මහණෙනි, පරපණ නසනා සුලු පුද්ගල තෙමේ යම් ... භයක් හා වෙරක් රැස්කෙරේද ... නුදුන් දෙය ගන්න පුද්ගල තෙමේ ... කාමයෙන් වරදවා හැසිරෙන පුද්ගල තෙමේ ... මුසවා බෙණෙනසුලු පුද්ගල තෙමේ ... මහණෙනි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුද්ගල තෙමේ ... යම් භයක් හා වෙරක් රැස්කෙරේද ... දුකක් දොම්නසක් විඳීද, මදපමා කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූ වහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
මේ පස්වැදැරැම් වෙර හා බිය සංසිඳුනාහු වෙත්.
කවර සෝතාපත්තිඅඞ්ග සතරකින් යුක්තවූයේ වේ ද යත්:
මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බුදුරජානන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුක්ත වූයේ වෙයි. මේ සෝවන් අඞ්ග සතරින් යුක්ත වූයේ වෙයි.
ඔහු විසින් නිර්දෝෂ වූ කවර න්‍යායයෙක් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද?
මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මැනැවින් නුවණින් මෙනෙහි කෙරෙයි ... ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද් ද, මේ සෝවන් අඞ්ගසතරෙන් යුක්ත වූයේ වේ ද. ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂීණ වූ නිරය ඇත්තෙම් ක්‍ෂීණ වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්‍ෂීණ වු ප්‍රේතවිෂය ඇත්තෙම්, ක්‍ෂීණ වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් සෝවන් වූයෙම් විවස ව පතිත වන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
1. 5. 3.
දුක්ඛ සූත්‍රය
43. සැවැත්නුවර–
මහණෙනි, දුක් හටගැන්ම ද නැතිවීම ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, දුක් හටගැන්ම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මේ දහම් තුණේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැන්මයි.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැණීම යි.
මහණෙනි, දුක් නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යය යෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.
කණත් ශබ්දත් නිසා සෝතවිඤ්ඤාණය උපදී ... නැහැයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදී ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.