1. 3. 6.
උපවාණ සූත්රය
26. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසින්ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක මෙරමා විසින් ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලද්දේ ය යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ හේතුප්රත්යය රහිතව (ඉබේ) හටගත්තේය යි පණවත්,
වහන්ස, මෙහි ලා අපගේ භාග්යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියනසුලු සේක් ද? කෙසේ පවසන්නා වූ අපි භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද්ද අනුව කියන්නෝ වන්නමෝ ද? භාග්යවතුන් වහන්සේ බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො එන්නේ ද?
උපවාණ, දුක ප්රත්යයයෙන් හටගත්තකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්රත්යය කොට ද? ස්පර්ශය ප්රත්යය කොටය මෙසේ කියන්නේ මා විසින් කියන ලද්ද අනු ව කියන්නෙක් වන්නේ ය. බොරුවෙන් මා නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද එන්නේ ය.
උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලදැ යි පණවද්ද, ළු ද ස්පර්ශප්රත්යයයෙනි. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, එ ද ස්පර්ශප්රත්යයයෙනි.
උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්යමාන නො වේ. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්යමාන නො වෙයි.
1. 3. 7.
පච්චය සූත්රය
27. සැවැත්නුවර–
මහණෙනි, අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
මහණෙනි, ජරාමරණ කවරේ ද යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැලි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්වනිකායෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් සම්මුති මරණයෙක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතින්ද්රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණ ය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදය වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ජරාමරණ නිරොධගාමිනී ප්රතිපදාව ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළි ගැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාතිය යි කියනු ලැබේ. භවසමුදයෙන් ජාති සමුදය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ජාති නිරෝධගාමිනී ප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධිය යි.
මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: ... මහණෙනි, වේදනා නම් කවර යත්: ... මහණෙනි, ස්පර්ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: ... මහණෙනි, නාම රූප නම් කවර යත්: ... මහණෙනි, විඥාන නම් කවර යත්: ... මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි: කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මේ සංස්කාර ය යි කියනු ලැබේ. අවිද්යා සමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසම්ධි යි.
මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ ප්රත්යය දනී ද, මෙසේ ප්රත්යයසමුදය දනී ද, මෙසේ ප්රත්යයනිරෝධය දනී ද, මෙසේ ප්රත්යය නිරෝධගාමිනීප්රතිපදාව දනී ද, මහණෙනි, මේ ආර්ය්යශ්රාවක තෙමේ මාර්ගදෘෂ්ටියෙන් යුක්ත ය යි ද, මාර්ගදර්ශනයෙන් යුක්ත ය යි ද, මේ සදහමට පැමිණියේ ය යි ද, මේ සදහම දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්යාවෙන් සමන්වාගත ය යි ද, (මාර්ගසඞ්ඛ්යාත) ධර්මස්රෝතසට පැමිණියේ ය යි ද, ආර්ය්ය වූ නිර්වේධිප්රඥා ඇත්තේ ය යි ද නිවන් දොරට හැනී සිටි ය යි ද කියනු ලැබෙයි.