1. 2. 8.
තිම්බරුක සූත්‍රය
18. සැවැත්නුවර–
ඉක්බිති තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ, ඉබේ හට ගත්තේ ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ ද? තිම්බරුක, සුවදුක් නැත්තේ නො වේ. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය. එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනී ද, නො දකී ද? තිම්බරුක, මම සුවදුක් නොම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. තිම්බරුක, මම සුවදුක් දකිම් ම ය.
“භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ල දදැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව” යි කියහු. ‘භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හට ගත්තේ දැ” යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නොකියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, සුවදුක් නො ම නැත්තේ ය. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය”යි කියහු. “එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනීද, නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, මම සුවදුක් නො ම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. මම සුවදුක් දකිම් ම යි”යි කියහු. භවත් ගෞතමයන් වහන්සේ මට සුවදුක් වදාරණ සේක්වා, දේශනා කරණ සේක්වා.
තිම්බරුක,“ඕ වේදනා ය. හේ විඳී ය”යි මුල දී ම මේ ලබ්ධිය ඇති කල්හි (පසුව “සුවදුක් තමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් තමා විසින් කරණ ලදැ” යි මෙසේ මම නො කියමි. තිම්බරුක, “වේදනාව අනෙකක, අනෙකෙක් වි ඳී ය”යි (මුලදී ම මේ ලබ්ධිය ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේදදිට්ඨිසහගත) “වේදනාවෙන් පෙළුනහුට (සුවදුක් මෙරමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් මෙරමා විසින් කරණ ලදැ” යි මෙසේත් මම නො කියමි.
තිම්බරුක, තථාගත තෙමේ ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිළිවෙතින් දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මේ අවිද්‍යාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ”යි.
මෙසේ වදාළ කල්හි තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... ඒ මම භවත් ගෞමයන් වහන්සේත් ධර්‍මයත් භික්‍ෂුසඞ්ඝයාත් ශරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් ශරණ ගිය මා උපාසකයකු කොට දරණසේක්වා යි.
1. 2. 9.
බාලපණ්ඩිත සූත්‍රය
19. සැවැත්නුවර–
මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ බාලයාගේ මේ කය මෙසේ හටගත්තේ ය. මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හෝ මෙයින් එක්තරා එකකින් හො පහස්නා ලද බාල තෙමේ සුවදුක් විඳී.
මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය මෙසේ හටගත්තේ ය මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හො මෙයින් එක්තරා එකකින් හෝ පහස්නා ලද පණ්ඩිත තෙමේ සුවදුක් විඳී.
මහණෙනි, එහි ලා බාලයා සමග පණ්ඩිතයාගේ කවර වෙසෙසෙක් ද? කිනම් වැඩි ප්‍රයෝගයෙක් ද? කුමන වෙනසෙක් දැ?යි.
වහන්ස, අපගේ ධර්‍මෙයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට භාග්‍යවතුන් වහන්සේ නායක කොට භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු ය යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ බාලයාගේ මේ කය හටගත්තේ ද, බාලයාගේ ඒ අවිද්‍යාවත් ප්‍රහීණ නුවූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ නුවූවාය. කවර හෙයින් යත්: මහණෙනි, බාලතෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර නො කෙළේ ය. එහෙයින් බාලතෙමේ කය බිඳීමෙන් (අනෙක් පටිසන්‍ධි) කයකය පැමිණියේ වේ. අන් කයකට පැමිණි හේ ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නො මිදෙයි. (සියලු) දුකින් නො මිදේ යි කියමි.